අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි සැමගේ ආගම ඇදහීමේ අයිතිය අපි සහතික කළා-අගමැති

    මැයි 18, 2021

    හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි සැමගේ ආගම ඇදහීමේ අයිතිය අපි සහතික කළා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මේ බව අගමැතිවරයා පැවසුවේ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්  (17) අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කරමින්ය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා එහි නව සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්විය. එසේ ම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්ෂ කේ. හේමලොජිනී යන මහත්ම මහත්මීහු ද මෙම අරමුදලට නිල බලයෙන් පත්වූහ.
    මෙයට අමතර ව හිටපු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නාවුක්කරාසන්, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ජින්දුපිට්ටි ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි දේවාලයේ භාරකාර මණ්ඩලයේ ලේකම් ජී.වී. සුබ්‍රමනියම්, ව්‍යවසායක දේශමාන්‍ය දුරේසාමි විග්නේශ්වරන් සහ ඒ.බී.‌ ජෙයරාජ් යන මහත්ම මහත්මීන් ද අගමැතිවරයා විසින් පත් කර තිබේ.
    එම උත්සව අවස්ථාව අමතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ සම්පූර්ණ කතාව මෙසේ ය.
    "රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය බොහෝ අභියෝග මධ්‍යයේ අද අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. නීතිගරුක, සදාචාරාත්මක සමාජයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඵලදායී ලෙස ක්‍රියාකරමින් සිටිනවා.
    මේ සමාජයේ ජීවත්වන සෑම කෙනෙකු ම ආධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව දියුණු වීම ඉතා වැදගත්. ඒ සඳහා පුද්ගලයෙකු අදහන ආගම මනා පිටුබලයක් සපයනවා. මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන අතර ම අනෙක් ආගම්වලටත් අපි සමානව ගරු කරනවා.
    හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට ඇති අයිතියට කිසිදු බාධාවක් මේ රටේ නැහැ. ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය අපි සහතික කර තිබෙනවා. ඒ වගේ ම ව්‍යවස්ථාව තුළින් ද ආගමික සමගිය, සහජීවනය අපේ රට තුළ ස්ථාපිත වෙලා තියෙනවා.
    මෙවැනි අවස්ථාවක බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු ශක්තිමත් කරන හින්දු සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්.
    හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කරන්නේ 1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ජීවත් වන හින්දු භක්තිකයන් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් ඉදිරියට ගෙන යාමයි.
    ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයින් මිලියන 2.5ක් පමණ ජීවත්වෙනවා. ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් වැඩි දියුණු කර ප්‍රවර්ධනය කිරීමේ වගකීම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවටත් හින්දු සංස්කෘතික අරමුදලටත් පැවරී තිබෙන කාර්යයන් සහ වගකීම් විදියට අපට හඳුනාගන්න පුළුවන්.
    හින්දු සංස්කෘතික අරමුදල, තමන්ට පැවරිලා තිබෙන මෙම කාර්යය නොපිරිහෙළා ඉටුකිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගයත් ලබා ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. අද ඔබ සියලු දෙනාට මේ පත්වීම් ලබාදෙන්නෙ මෙම අරමුදලේ ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.
    හින්දු දහම් පාසල්වල ක්‍රියාකාරකම් දිරිමත් කරමින්, ආධ්‍යාත්මික අතින් පොහොසත්, සදාචාරාත්මක තරුණ පරම්පරාවක් ගොඩනැගීමට ඔබ සියලු දෙනා නායකත්වය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම දුෂ්කර ප්‍රදේශවල හින්දු කෝවිල්වල කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් රට පුරා තිබෙන සියලු හින්දු කොවිල්වල අවශ්‍යතා සොයා බැලීමටත් කටයුතු කරන්න.
    එවැනි අවශ්‍යතා ඉටුකරමින් හින්දු සංස්කෘතික අරමුදලේ ඉලක්කය සපුරාගනිමින් යහපත් ශ්‍රී ලාංකේය සමාජයක් බිහිකිරීමට ක්‍රියා කිරීම ඔබගේ වගකීමක්. හින්දු සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂි සේවාවක් ඉටු කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ සාමාජිකයන් වන ඔබ සැමට මම සුබ පතනවා."
    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබුෂර්මා, අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරක සෙන්තිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya