අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝට් සිටි පනත පිළිබඳ ආගමික නායකයින් දැනුම්වත් කිරීමට රජය ගෙන ඇති පියවරට රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමියෝ ප්‍රසාදය පල කරති.

    අප්‍රේල් 20, 2021

      පනත් කෙටුම්පතින් වරාය නගර භූමිය අන්සතු කර නෑ - රාජ්‍ය ඇමති කබ්රාල්

     වරාය නගරය වෙනම රටක් ලෙස හැදින්වීම වැරදියි - ඇමති ප්‍රසන්න රණතුංග

    කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් දැනුම්වත් කිරීමට රජය ගෙන ඇති තීරණය අගය කරන බව රාමඤ්ඤ
    මහා නිකායේ මහනායක මකුලෑවේ විමල නා හිමියෝ පැවසූහ.

    මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් (18) මහනායක හිමියෝ බැහැදැක මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ මහ නායක හිමියෝ මෙසේ පැවසූහ.

    කොළඹ වරාය නගරය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන හෙයින් පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් දැනුම්වත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

    ඒ අනුව රාමඤ්ඤ නිකායේ මහා නායක මකුලෑවේ විමල නා හිමියන් බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරු අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහා නායක හිමියන් සමඟ සාකච්ඡා කළහ.

    වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පතට අදාලව මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන අදහස් පිළිබඳව පමණක් මෙතෙක් දැනුවත්ව සිටි බව සඳහන් කළ නා හිමියෝ මහා සංඝරත්නයට පනත් කෙටුම්පත සහ අදාල තොරතුරු ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අගය කරන බවද සඳහන් කළහ.

    අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යවරයා මෙහිදී කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත මහනායක හිමියන්ට පිළිගැන්වීය. නායක හිමිවරුන්ගේ මාසික රැස්වීමේදී පනත් කෙටුම්පත දීර්ඝව අධ්‍යයනය කරන බව එහිදී මහා නායක හිමියෝ පැවසූහ.

    ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මගින් වරාය නගර භූමිය කිසිසේත් අන් සතු කර නැති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී පැහැදිලි කළේය.

    රටේ සෙසු අණපනත් වලට යටත්ව වරාය නගරය පාලනය වන බව පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කලේ මෙම වරාය නගරය වෙනම රටක් ලෙස හැඳින්වීම ජනතාව නොමග යැවීමට කල දෙයක් බවයි.

    පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති පෙත්සම් විභාග කිරීමේ දී රටට අහිතකර කොටස් ඇත්නම් ඒවා ඉවත් කිරීමට නියෝග කෙරෙන නිසා අනවශ්‍ය ලෙස කලබලවියයුතු නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල කිසිවකට අධිකරණයේ සහාය හිමිනොවනු ඇති බවත් මහා නායක හිමියෝ එහිදී සිහිපත් කළහ.

    මේ වන විට පාස්කු සිද්ධිය පිළිබඳ වාර්තාව සහ පුරාවිද්‍යා පනත් කෙටුම්පත ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ද ඒ පිළිබඳ ප්‍රවීණතා සහිත නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු මගින් අධ්‍යයන
    කරමින් පවතින්නේ යැයි සඳහන් කළ නායක හිමියෝ මෙම පනත් කෙටුම්පතේ සඳහන් කරුණු සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරන බව පැවසූහ.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල හෝ රටේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරීත්වයට හානි වන කිසිදු තීන්දුවක් රජය විසින් නොගන්නා බවයි.

    විපක්ෂය ඒ සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර කරන නිසා මහා සංඝරත්නය සහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් ද එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya