අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 ක් නාවික හමුදා භාරයට

    අප්‍රේල් 09, 2021

    නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    වයඹ නාවික විධානය මඟින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ විශේෂ මාර්ග භාධකයක් යොදා සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රීරෝද රථ 04 ක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී එම ත්‍රීරෝද රථ තුළ ගමන්ගත් පුද්ගලයින් 20 දෙනෙක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා මෙලෙස ත්‍රීරෝද රථ මඟින් සිලාවතුර මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බවට අනාවරණය වූ බැවින්, එම පුද්ගලයින් පිරිස සහ ත්‍රීරෝද රථ 04 නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

     

    නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 20 දෙනා අතුරින් පිරිමි පුද්ගලයින් 14ක්, කාන්තාවන් 04 ක්, වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකු ද විය. මෙම පිරිසෙන් පුද්ගලයින් 09 ක් මුලතිව් ප්‍රදේශයේද, 04 දෙනෙකු යාපනය ප්‍රදේශයේද, 04 දෙනෙකු මන්නාරම ප්‍රදේශයේද, වාලච්චේනය, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවලින් එක් පුද්ගලයෙක් බැගින් සිටි බවට හඳුනා ගන්නා ලද අතර, මෙම නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද මෙම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කෙරේ.

     

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් පිරිස සහ ඔවුන් පැමිණි ත්‍රීරෝද 04 ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. තවද, 2021 මාර්තු 11 වන දිනද නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් නාවික හමුදා භාරයට ගත් අතර, මෙවැනි නීති විරෝධී සංක්‍රමණික කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya