අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවෙයි

    මාර්තු 19, 2021

    බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවෙයි.

    බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමඟාමීව අග්‍රාමාත්‍යතුමාගේ මෙම සංචාරය සිදු වනු ඇත.

    කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ පියවරයන්ට අනුකූලව ජෛව සුරක්ෂිත සංචාරක බුබුලක් ලෙස දැඩි සෞඛ්‍යාරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කරමින් බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය සිදු කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබේ.


    බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද “මුජිබ් වර්ෂය” (Mujib Year) නිමිත්තෙන් සිකුරාදා (මාර්තු 19) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමට නියමිතය.


    මෙම සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා, බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ බැංකුවේ අධිපතිතුමා සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.


    එමෙන්ම කෘෂිකාර්මික, වෙළඳ හා ආයෝජන, ආරක්ෂක, සමුද්‍රීය සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංචාරක ඇතුලු විවිධ අංශ ඔස්සේ එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
    බංග්ලාදේශ ජනරජයෙන් ලැබුණු මෙම විශේෂ ආරාධනය සහ එම සංචාරයේදී පැවැත්වීමට නියමිත ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා තුළින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ශක්තිමත් සබඳතා තවදුරටත් වැඩිදියුණු කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.


    එසේම මෙම සංචාරය අතරතුර කෘෂි කර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංස්කෘතික සහයෝගීතාව වැනි විවිධ අංශයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද දෙරට විසින් අත්සන් තැබෙනු ඇත.


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් දිවි පිදූවන්ගේ අනුස්මරණ ස්මාරකය (National Martyrs’ Memorial) වෙත ගොස් බංග්ලාදේශ නිදහස් සටනෙන් මියගිය විරුවන්ට ගෞරව දැක්වීමට ද නියමිතය.


    එසේම අග්‍රාමාත්‍යතුමා බංගබන්දු අනුස්මරණ කෞතුකාගාරය (Bangabandhu Memorial Museum) නැරඹීමේ චාරිකාවකට ද එක්වනු ඇත.


    වර්ෂ 1971 දී බංග්ලාදේශය වෙනමම රාජ්‍යයක් බවට පත් වූ අතර, ඉන් පසු වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් බැවින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය 2022 වර්ෂයේදී සමරනු ඇත.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya