මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 06 කට පසුව වතු නිවාස ගම්මාන වැඩසටහන දැරණියගල දී ඇරඹේ - ගම සමඟ පිළිසදරෙන් පසු වතු පවුල් 170 ක් වෙනුවෙන් නොමිලේ නිවාස

    මාර්තු 10, 2021

    2015 න් පසුව වතු නිවාස ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 08 වැනි දා දැරණියගලින් ආරම්භ කෙරිණ.

     

    රටේ ආර්ථිකයට දිරිදෙන ප්‍රධාන අපනයන භෝග වගාවක් වන තේ වතුවල ලැයින් කාමර පේළිවල ජීවත්වන කම්කරු පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහනක් වශයෙන් මෙය දැරණිගල, මාලිම්බොඩ තේ වතු යායෙන් ආරම්භ කිරීම විශේෂත්වයකි.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම අනුව වතු කම්කරුවන් උදෙසා ඉන්දීය රජයේ ආධාර මත නාගරික සංවර්ධන අධිකාරිය මෙම වතු නිවාස ඉදි කරනු ලබයි.

     

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් මංජුල ඇතුළු දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙම වතු නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතිගරු ජනාධිපතිතුමාගේ “ගම සමඟ පිළිසඳර” වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් “සතුටින් ජීවත් වන පවුලක්” ගොඩනැගීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ.

     

    එම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නිතිඥ රත්නසිරි කළුපහන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීවිය.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව දැරණියගල මාලිම්බොඩ තේ වතු යායේ දී මෙම නව වතු නිවාස 170 ඉදිකෙරේ. බොගවන්තලාව වැවිලි සමාගමට අයත් ඉඩමක මෙම නව නිවාස ඒකක ඉදිවේ.

     

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති වැඩ සටහනට මෙම වතු නිවාස 170 ව්‍යාපෘති ඇතුළත් වේ.
    මේ අනුව, මෙතෙක් කාලයක් කිසිම මූලික පහසුකම්වලින් තොරව ජීවත් වූ වතු නිවාස පවුල් 170 කට කිසිම මුදල් ගෙවීමකින් තොරව නව නිවාසවල හිමිකරුවන් වීමට අවස්ථාව උදාවේ.

     

    ඉදිකෙරෙන මෙම නව නිවාස මහල් 02 කින් සමන්විත වේ. නිවසකට නිවසක් දුරස්ව මුහුණ ලා සිටින ආකාරයට ඉදිවන මෙම නිවාස ඒකකයකට නිවාස 08 ක් ඇතුළත් වේ. එක් නිවසක වර්ග අඩි ප්‍රමාණය 550 කි.
    ඉදිකෙරෙන සෑම නිවසක් සඳහාම ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වන අතර එක් නිවසකට කාමර 02 ක් මුළුතැන්ගෙයක් සහ විසිත්ත කාමරයක් ඇතුළත් වේ.
    ඉදිකෙරෙන නව නිවාස එකම ස්ථානයක ඉදිකිරීම වෙනුවට, ස්ථාන කිහිපයක ඉදිකිරීම මෙහි ඇති විශේෂත්වයකි. ඒ යටතේ පුද්ගල නිදහස, පවුලේ නිදහස මෙන් ම පොදු නිදහස තවදුරටත් ආරක්ෂා වන බව මාළිම්බඩ වතු යායේ පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.

     

    එසේ ම සුදුසු සහ ගැලපෙන කුඩා කණ්ඩායම් ලෙස සිටීම ජීවත්වීමට සුදුසු සබදතා සහ ගැලපෙන තත්වයන් මෙන් ම යහපත් පරිසර තත්වයක් ද ඇතිවන බව ඔවුන් විශ්වාස කරයි.
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සමඟ ඉන්දියානු රජයේ ආධාර මත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ තවත් වතු නිවාස 10,000 ක් සෑදීමට ඉන්දීය රජය දැනටමත් පොරොන්දු වී ඇති බවයි.

    “රජයකින් ජනතාවට ලබා දෙන දේවල් අතරින් සාමාන්‍ය ජනතාව ඉල්ලන දෙයක් තමයි නිවාස. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ බව සඳහන් වුණා. ඒ අනුව සමාජයේ සෑම කොටසකට ම වැඩපිළිවෙළක් අපි සාකච්ඡා කළා. ඒ අනුව මෙම නිවාස සෑදීම කඩිනම් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ අමාත්‍යාංශ කීපයකට බෙදල දුන්නා. ඉන් එකක් තමයි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ වතු නිවාස අමාත්‍යාංශය. ජනාධිපතිතුමා අපිට කියපු දෙයක් තමයි තමන්ගේ අමාත්‍යාංශයට අදාල ව්‍යාපෘතිවලට අමතරව වෙනත් අමාත්‍යාංශවල ව්‍යාපෘතිවලටත් උදව් කරන්න කියපු කාරණය. අද අපි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට උදව් කරන්නේ ඒ පදනම මත පිහිටලා. ගෙවුණු අවුරුද්දයි මාස හතරකදී අපි මේ රටට වගේ ම ජනතාවට විශාල වැඩ කොටසක් කළා. රටපුරා විශාල ඉදිකිරීම් කළා. මහා මාර්ග හැදුවා, පාලම්, වැව් වගේ තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. මේ හැම සංවර්ධනයක් ම පහුගිය රජයේ යටතේ බිඳ වැටිලයි තිබුණේ. එක පැත්තකින් ආර්ථිකයේ බිඳීම. අනෙක් පැත්තෙන් ජන ජීවිතවල වගේ ම රටේ බිඳවැටීම. අද ඒ සියල්ල වෙනස් වෙමින් තියෙනවා. රුපියල් 1,000 ක් වතුකම්කරුවන්ට දෙන්න බැරි තත්ත්වයක හිටපු ආණ්ඩුවක් වෙනුවට ජනතාව පත් කරපු මේ රජය වතු කම්කරුවන්ගේ රුපියල් 1,000 ලබාදුන්නා. අද රජයට විරුද්ධව කතා කරන්නේ බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නේ තමන් ගැනවත් හරියට නොදැන. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යම් අය අත්අඩංගුවට ගත්තා. පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු අය අද ප්‍රශ්න කරනවා ඒ ගැන. ඒ ප්‍රහාරයට වගකිව යුතු අය අද ඉන්නවා කළු ඇඳගෙන, කළු ඉරිදාවේ උද්ඝෝෂකයන් අතරේ. අපි උසාවියට බලපෑම් කළේ නෑ. නීතියට බලපෑම් කළේ නෑ. උසාවියට සහ නීතියට අද සම්පූර්ණ නිදහස හිමිවෙලා තියෙනවා නිදහසේ වගේම ස්වාධීනව කටයුතු කරන්න. වැරදිකරුවන් පිළිබඳව සොයාබලා දඬුවම් කරන්න. කවදාවත් නීතිය අවනීතිය කරන රජයක් නෙවෙයි මේ රජය. තිබුණු දුර්දාන්ත පාලන කාලයකින් මිදිලා එළියට ආපු රජයක් මේ රජය. ජනාධිපතිතුමා මේ රටට කවදාවත් අගතියක් කරන්නේ නෑ කියලා කිව්වා. ජනතාවටත් ඒක ඒ විදියමයි කියලා කිව්වා. ඒ හින්දා විශ්වාසයක් තියන්න. මේ ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සු ගැන හිතන රජයක්. මේක සාමාන්‍ය ජනතාවගේ රජය. ඒ නිසා ජනාධිපතිතුමා ගමින් ගමට ගිහින් ගමේ ප්‍රශ්න ගැන කතා කරනවා. රටේ ප්‍රශ්නවලට වගේම ඊටත් වඩා ගමේ ප්‍රශ්නවලට වැඩි අවධානයක් දෙන්නේ. ඒ අනුව තමයි මේ ඉලක්ක ක්‍රියාත්මක වෙන්නේ”
    යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.


    මෙම වැඩසටහන ලබාදීමට කටයුතු කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තූතිවන්ත වන බව තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.

    “ගම සමඟ පිළිසදරක් වැඩසටහනට ඇවිත් ආපසු යන අතරතුර මේ ප්‍රදේශයේ ජනතාව එතුමාව නතර කරගත්තා මෙතන කර්මාන්තශාලාවේ ළඟ. මේ ජනතාව ජනාධිපතිතුමාට තමන්ගෙ නිවාස අවශ්‍යතාවය ගැන දැනුම් දුන්නා. ඒ අනුව තමයි අද මේ වැඩසටහන තේ වතු කම්කරු පවුල්වලට මේ නිවාස හිමි වෙන්නේ. ගම සමඟ පිළිසඳර අවසන් කර ගමෙන් එළියට යන්නටත් පෙර ඉන්දියානු මහ කොමසාරිස්තුමා සමඟ කතාකර මේ සඳහා මුදල් වෙන් කර වෙන්කර ගන්න අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළා. ඉතාමත් කඩිනමින් කෙටි කාලයක් තුළ මේ සඳහා මුදල් මුදල් ප්‍රතිපාදන වෙන් කර මේ කටයුත්ත ඇරැඹීම ගැන ඒ ගැනත් මේ ජනතාව ස්තූතිවන්ත විය යුතුයි.”
    යනුවෙන් ද තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ අදින් අරඹන ගෙවල් 170 වතු කම්කරුවන් නිවාස ව්‍යාපෘතිය අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී සාදා නිම කරන බවයි.

    “මට පෙබරවාරි 6 වැනිදා ජනාධිපතිතුමාගෙන් පණිවිඩයක් ලැබුණා. එතුමා කිව්වා මම ඉන්නෙ දැරණියගල වත්තේ මේ ජනතාව මට කියනවා මේ අයට ගෙවල් හදලා දෙන්න කියලා. ඒක කරලා දෙන්න පුළුවන් නේද යනුවෙන් ජනාධිපතිතුමා කළ ඉල්ලීමට අනුව අපට පුළුවන් වුණා මාසයයි දවස් දෙකක් යනකොට ඒ ඉල්ලීම ඉටු කරන්න. ලොකුම ප්‍රශ්ණය වුණේ ඉඩම් සෙවීම. ඒ වගේම මුදල් සෙවීම. ඒ කාරණා දෙකේදී ම අපි හැම පැත්තකම සහයෝගය අරගෙන ඒ කටයුතු සාර්ථක කර ගත්තා. අද මේ දකින්නේ ඒ ප්‍රතිඵල. ඒ අනුව මම ඉන්දීය මහ කොමසාරිස්තුමාට කිව්වා ඒ ගෙවල් හදලා දෙන්න කියලා. ඒ ඉල්ලීම අනුව මේ නිවාස ව්‍යාපෘතිය විතරක් නෙමෙයි ඉදිරියටත් තව ගෙවල් හැදෙනවා වතු කම්කරු පවුල් සඳහා. ජනාධිපතිතුමාට අද නිවාඩු දවසක් නෑ. හැම දවසකම වැඩ. නිවාඩු දවස්වලටත් ජනාධිපතිතුමා වැඩ කරන්නේ ඒ මේ හින්දා තමයි. ජනාධිපතිතුමා කිව්වා ගෙවල් හදනවා වගේම ගම දිහාත් බලන්න. මේ සියළු වැඩ සිදු කෙරෙන්නේ ඒ අනුව තමයි.”

    යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොංඩමන් මහතා මෙම අවස්ථාවට සහභාගී නොවූ අතර ඒ මහතාගේ සුභපැතුම් ද රැගෙන මෙම අවස්ථාවට සහභාගී වූයේ එම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාය.

    එසේම එකම පරිසරයක යම් යම් දුරකින් පදිංචිව සිටීම, අලුත් ගමක පදිංචි නිවාස යන හැඟීම ඇතිකරවන බව එම මූලික අරමුණ යටතේ දක්වා තිබේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය එක් වසරක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි. මෙම මාලිම්බඩ වත්ත නව වතු නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 510 ක් වැය වේ.
    කොන්ත්‍රාත්කරු ලෙස පළපුරුදු රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ආයතනයක් වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කටයුතු කරනු ලබයි.
    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ආරම්භ කෙරුණු දැරණියගල, මාලිම්බොඩ තේ වතුයායේ නව නිවාස ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යන ආයතන එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya