මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට මහ බැංකුවට නිර්දේශ - රජයේ මුදල් කාරක සභාව

    මාර්තු 03, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ බැංකු මෙන් කටයුතු නොකරන ලෙසද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන්ට නිර්දේශ කළේය .

    මෙහිදී රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රදර්ශන යාපා මහතා සඳහන් කළේ මුදල් මණ්ඩලය සිය වගකීම නිවැරදිව ඉෂ්ට කළ යුතු බවත් , ඕනෑම රටකට මූල්‍ය ශික්ෂණය පවත්වාගෙන යාම අතිමූලික සාධකයක් බවත් ය .

    ඒ අනුව, විශේෂයෙන්ම මෙරට ව්‍යවසායකයින් නගා සිටුවීම පිණිස නව සංවර්ධන මූලෝපායන් රජයේ මූදල් කාරක සභාවට ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට සභාපතිවරයා නියෝග කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවූ අවස්ථාවේදීය.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ දේශීය වශයෙන් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද යෝජනා ක්‍රමය යටතේ 2021 පෙබරවාරි 19 වැනිදා වනවිට ඩොලර් මිලියන 323 ක විශාල ඉතුරුම් ශේෂයක් පවත්වාගෙන යාමට සමත්ව ඇතැයි පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වීමෙන් පසු මෙම උපදෙස් ලබාදීම සිදු කරන ලදි.

    මෙම ඉතුරු කිරීමේ විශේෂ තැන්පතු ගිණුම සඳහා වාර්ෂිකව 2% ක තැන්පතු පොලියක් ලැබෙන අතර එය රටට මෙන්ම විදේශගත ලාංකිකයන්ටද වාසිදායක තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන මෙබඳු යහපත් යෝජනා ක්‍රම වඩා වැඩි ප්‍රචාරණයකින් යුතුව ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවට කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය .

    එමෙන්ම,සීනි සම්බන්ධව මෙතෙක් රජය ගත් බදු සංශෝධන ක්‍රියාමාර්ග නිසා වර්තමානය වන තෙක්ම රජයට සහ රටට පාඩු සිදු වී ඇති බවට එල්ලවෙන දැඩි විවේචන රජයට කළු පැල්ලමක් බවත් ,එයින් අපේක්ෂා කළ පරිදි පාරිභෝගිකයාටද වාසියක් සිදු නොවුණු වන බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු යන මහත්වරු විශේෂයෙන් පෙන්වා දුන්හ .

    රජයේ මුදල් කාරක සභාව විසින් ඒ සම්බන්ධව කැඳවූ වාර්තාව තවමත් තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කළ සභාපතිවරයා මේ ගැසට් සංශෝධන පිළිබඳව දත්ත සහිත විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට ආනයන පාලක දෙපාර්තමේන්තුවට හැකිවිය යුතු බවද කියා සිටියේය .දුඹුරු සීනි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එදින ඉදිරිපත් වූ රෙගුලාසි රජයේ පිිළිබඳව මුදල් කාරක සභාව විසින් අනුමත කළ අතර මාර්තු 09 වන දින අදාළ සියලු අමාත්‍යංශවල සහ ආයතනවල සහභාගීත්වය සහිතව මේ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවට නිර්දේශ කළේය .

    ඊට අමතරව, මුදල් අමාත්‍යංශය විසින් 2008 අංක 14 දරන ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ වන ව්‍යාපෘති දෙකක කාලය දීර්ඝ කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මෙහිදී අනුමත කරන ලදී .එම එක් ව්‍යාපෘතියක් කොළඹ 3 , ගාලු පාරේ අංක එකසිය දාසය(116) ස්ථානයේ පිහිටි සේවා මහල් නිවාස 90කින් යුත් කාමර 75ක් සහිත නගර හෝටලයකි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පෙන්වා දුන්නේ, මහජන මුදල් යොදා ඇති එම ව්‍යාපෘතිය ආරම්භයේදී අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවයි .

    දැනට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රො ගෑස් ආයතනය , සේවා අර්ථසාධක අරමුදල එක්ව ඒ සඳහා බිලියන විස්සක් පමණ වැයකර ඇති අතර ඉන් බිලියන හතරක් මැලේසියානු ආයතනයකට බේරුම්කරණ ගෙවීම් සඳහා වැයවී ඇත .දැනට මහල් දහසයක් පමණක් තනා ඇති මෙම හෝටලය භාවිතයට ගැනීමට අවම වශයෙන් තවත් බිලියන හතළිහක් පමණ වැය වන අතර එයද සාර්ථක වනු ඇතැයි සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු තබාගත නොහැකියි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම අතිරික්ත වැය දරන්නට හේතුවුණු සයිනෝලංකා ස්පා හෝටලයේ ඉදිකිරීම් කටයුතු වසර 4-5 ක කාලයක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එවකට කළමනාකරණය සෘජුවම වගකිවයුතු බව සඳහන් කළ රජයේ මුදල් පිළිබඳව කාරක සභාව මේ පිළිබඳව ආයෝජන මණ්ඩලයේද අවධානය යොමු විය යුතුව තිබූ බව පෙන්වා දුන් අතර කඩිනමින් මෙම හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි සභාපතිවරයා ඇතුළු කාරක සභාව අලාභය පියවාගතහැකි ආකාරය දුෂ්කර බවද සිය අවධානයට ලක් කළහ .

    පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත,රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya