මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතුරාජවෙළ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය නිකුත් කරන විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    මාර්තු 03, 2021

    ප්‍රවෘත්ති නිවේදනයයි.

    අප රටේ වැදගත්ම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව පරිසර අමාත්‍යංශය ආරම්භයේ පටන්ම කටයුතු කරනු ලැබුවේ මෙම වටිනා පරිසර පද්ධතිය රැක ගැනීමේ යහ චේතනාව පෙරදැරිවය.

    මුතුරාජවෙළ තෙත් අභය භූමිය සම්බන්ධව මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රවෘත්ති සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මීට මාස කිහිපයකට පෙර එක් දිනක් මුළුල්ලේම මෙම පරිසර පද්ධතියට සිදු කර ඇති විනාශය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    එහිදී හෙලිදරව් වු කරුණු අනුව මෙම පරිසර පද්ධතියට විවිධ පුද්ගලයින් අතින් සිදුවී ඇති විනාශය අමාත්‍යවරයා සියැසින්ම දුටුවේය. ඒ අනුව එක් යකඩ කර්මාන්ත ශාලාවක පරිසර බලපත්‍රය පවා අහෝසි කිරීමට පියවර ගත්තේය.

    ඒ අතරතුර පරිසරවේදීන් මෙන්ම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පවා මේ සම්බන්ධව සාකච්ඡා කර අවසානයේ අතිගරු ජනාධිපතිතුමන් වෙත පවතින තත්ත්වය අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිළි කරනු ලැබීය.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස වුයේ මෙම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා මුතුරාජවෙළ තෙත් අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන පරිසර අමාත්‍යාංශය මෙන්ම වනජීවි, වනසංරක්ෂණ ආදි අනෙකුත් අමාත්‍යාංශවල පූර්ණ අධීක්ෂණය යටතේ මුතුරාජවෙළ තෙත් අභයභූමිය සංරක්ෂණය සඳහා පියවර ගැනීමයි.

    මෙම තෙත් අභයභූමිය නාගරික සංවර්ධනය අධිකාරියට පවරා ගැනීමට තීරණය කරන ලද්දේ මෙහි ඉඩකඩම් අත්පත් කර ගැනීමේ දී ඇතැම් විට විශාල වශයෙන් මුල්‍යමය වශයෙන් පවා අයිතිකරුවන්ට වන්දි ගෙවීමට සිදුවෙන නිසාය. ඒ සඳහා දැනට මුල්‍ය ශක්තියක් ඇති ආයතනයක් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරි පනත යනු නෛතික වශයෙන් ඉතාමත් ශක්තිමත් පනතකි.

    කෙසේ වුවද මුතුරාජවෙළ තෙත් අභයභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලැබූ මෙම තීරණය ද බොහෝ පාර්ශ්ව විසින් විවේචනය කරමින් පරිසර අමාත්‍යාංශයට පහර එල්ල කරන තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ.එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත්තද සියලු සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ පරිසර, වනජීවි, වනසංරක්ෂණ හා පහත් බිම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු අදාල සියලු ආයතනවල මැදිහතිවීමෙන් නිසා මෙම පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවීමට ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    මුතුරාජවෙළ විෂය පථය වශයෙන් ගත් කළ පරිසර අමාත්‍යාංශයට අයත් නොවේ. මෙහි මෙම කටයුතු සඳහා පරිසර අමාත්‍යාංශය මැදිහත් වුයේ මෙම තෙත් අභය භුමිය රැක ගැනීමේ සද්කාර්යයට අනුග්‍රහය දැක්වීම සඳහාය.එම පියවර තවදුරටත් අනුගමනය කරන අතර මුතුරාජවෙළ තෙත් බිම පමණක් නොව සියලු අභයභූමිවලට අයත් බිම් සංරක්ෂණය උදෙසා පරිසර අමාත්‍යාංශය ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

    එමෙන්ම මුතුරාජවෙළ තෙත් බිම සම්බන්ධව ලබන සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වෙන සාකච්ඡාවට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ නියෝජිතයින් හා පරිසරවේදීන් ද සහභාගි වීමට නියමිත බැවින් මෙම ගැටළුව සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.

    එමෙන්ම මෙම බ්‍රහස්පතින්දා පරිසර අමාත්‍යාංශයේ දී අන්තර් අමාත්‍ය සමුළුව පැවැත්වෙන බැවින් එහිදී දී අදාල සියලු අමාත්‍යවරුන් සමග මේ සම්බන්ධව මෙන්ම සෙසු පරිසර හානි සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට යෝජිතය.

    එමනිසා පරිසර අමාත්‍යාංශය මෙම කාරණය සඳහා ගනු ලබන කවර කාර්යයකට වුවද පූර්ණ වශයෙන් සහයෝගය ලබා දීමට ද තීරණය කර තිබේ.

     

    මාධ්‍ය ඒකකය
    පරිසර අමාත්‍යාංශය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya