අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ පළමු වරට රජය සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක සංචිතයක් තියාගැනීමට රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන වෙන් කළා - කෘෂිකර්ම ඇමති

    පෙබරවාරි 22, 2021

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රජය සතුව වී සංචිතයක් තබාගැනීම සදහා ප්‍රතිපත්ති තීරණයක් ගත් බවද, ඒ අනූව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 23000ක ප්‍රතිපාදන වෙන්කළ බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද (22) දින කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වී අලෙවි මණ්ඩලයට මිලියන 16,000ක්ද, දිසාපතිවරුන් සදහා මිලියන 2000ක්ද සමූපකාර සදහා මිලියන 5000ක්ද වෙන්කර ඇති බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ සදහා ගබඩා 323ක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර වී මෙට්‍රික් ටොන් 325,000ක් ගබඩා කිරීම සදහා අවශ්‍ය පහසුකම් සියල්ල යුධ හමුදාව මැදිහත් කරගනිමින් මේ වන විටත් සකස් කර අවසන් බවයි. මෙම වී සංචිත මිලදී ගැනීමේ මූලික අරමුණ වූයේ ගොවියාත් පාර්භෝගිකයාත් සහල් මාෆියාවෙන් නිදහස් කරගැනීම බවද අමාත්‍යවරයා පැවසුවේය.

    මෙතෙක් කල් රජය විසින් ගොවියාට පොහොර, ජලය, රක්ෂණය සහ තාක්ෂණය නොමිලේ ලබාදුන් අතර මෙම සියල්ල රජයෙන් ලබාගෙන සහල්මුදලාලිලා විසින් ගොවියාගෙන් තුට්ටුදෙකට වී ලබාගත් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. රජය මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කළේ ‍ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමේ අරමුණෙන් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙම කන්නයේ ලබා ඇති බවද, මේ වන විට හෙක්ටයාර් 764,000ක් අප රටේ මහකන්නයේ වගාකර ඇතැයිද ඒ අනූව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් වී නිපදවා ඇති බැවින් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් මෙම මහකන්නයේදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

    අප රටේ ජනතාවට සාමාන්‍යායන් මාසික පරිභෝජනය සදහා මෙට්‍රික් ටොන් 195,000ක් අවශ්‍ය වන බවද, වසරකට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් අවශ්‍ය බවද පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙවර මහ කන්නයේ මෙට්‍රික් ටොන් 3.2ක් නිපදවා ඇති බැවින් යළ කන්නයේ මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.

    ඒ අනූව 2021 වසරේ යළ සහ මහ වී මෙට්‍රික් ටොන් මිලියන 05ක් එනම් ලක්ෂ 50ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය. මෙයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක සහල් ලබාගත හැකිවෙතැයිද, අපගේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් බව බැවින් මෙම වසර තුළ සහල් කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අතිරික්තයක් රටේ නිපදවා ඇතැයිද කියා සිටියේය.

    එමනිසා ලංකා ඉතිහාසයේ ගොවියා වැඩියෙන්ම වී ගොවිතැන සදහා යොමුවූ වසර මෙම වසර යැයිද යළ සහ මහ කන්න දෙක තුළම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් වගාකිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    පසුගිය කාලයේ වී මිලදී ගැනීමට රජය කටයුතු කළ ආකාරය සිහිපත් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියාසිටියේ 2016 වසරේදී වී මිලදී ගැනීමට ආණ්ඩුව මිලියන 6600ක් වියදම් කර ඇතැයිද, 2017දී වී මිලදී ගැනීමට ආණ්ඩුව සතපහක් වත් ලබාදී නැතැයිද, 2018දී මිලියන 280ක්ද, 2019 මිලියන 2028ක්ද, 2020දී මිලියන 1524ක්ද 2021දී මිලියන 23,000ක වී මිලදී ගැනීම සදහා රජය කටයුතු කර ඇති බවයි.

    අද වෙන විට ගොවියාගේ පොහොර සහනාධාරයට ගැසීමට උත්සාහ දරණ බවට විපක්ෂය චෝදනා එල්ල කරන බවද එය සම්පූර්ණ අසත්‍යයක් බවද, මෙරට වී ගොවියන් සිටින්නේ 1041923ක් බවද මෙයින් වී මිලදීගනු ලබන්නේ හෙක්ටයාරයකට වැඩි ගොවීන්ගෙන් පමණක් බවද පැවසුවේය.

    හෙක්ටයාරයකට වැඩි ගොවීන් සිටින්නේ 266,921ක් බවත්, එනම් 27%ක් බවත් පැවසුවේය. 73%කට පොහොර සහනාධාරය, රක්ෂණය සහ රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබන බවද අවධාරණය කළේය.

    මෙම 266,921ක ගොවීන්ගෙන් එනම් 27%න් 10%ක් රජයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවද, ඒ අනූව රජය ගොවියාට පොහොර, රක්ෂණය, තාක්ෂණය ලබාදෙන බවද නොමිලේ ජලය ලබාදෙන බවද හෙක්ටයාරයකට වැඩි ගොවීන්ගෙන් පමණක් එනම් මෙරට සමස්ථ ගොවීන්ගෙන් 27%ට පමණක් පොහොර සහනාධාරයට වී කිලෝ 1000ක් ලබාදෙන්න යැයි රජය පවසන බවද කියා සිටියේය.

    මේ වන විට රජය සහල් සංචිතයක් ලබාගන්නේ යැයි පැවසූ විට සහල් මාෆියාවට සම්බන්ධ අය බියවී ඇතැයිද මොවුන් හැමදාම අහිංසක ගොවියන් අමාරුවේ දාන්නේ යැයිද අමාත්‍යවරයා පැවසුවේය. රජය 50 සහතික මිලක් ලබාදුන් විගස සහල් මාෆියාවට සම්බන්ධ පිරිස් රුපියල් 54ට ගොවියන්ගෙන් නිෂ්පාදනයෙන් වී කිලෝ 75%ක් 80%ක් මිලදීගන්නා බවද අන්තිම 5% - 10% රුපියල් 60කට පමණ මිලදීගෙන රුපියල් 125ක මුදලක් අවශ්‍ය බව ආණ්ඩුවට බලකරන බවද පැවසුවේය.

    වී මොල් හිමියන් විසින් රටේ සහල් හිගයක් ඇති වෙතැයි මාධ්‍යයට බොරු ප්‍රචාර කරන බවද රටේ කිසිදු සහල් හිගයක් ඇති නොවෙන අතර මෙරට ඉතිහාසයේ දැවැන්තම වී අස්වැන්න දැවැන්තම නිෂ්පාදනය සිදුකර ඇතැයි බැවින් මෙම වසරේ ලංකා ඉතිහාසයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක වී අතිරික්තයක් සහල් අතිරික්තයක් එන බැවින් අපට ආනයනය කිරීමටද හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

    රුපියල් 50කට රජය වී මිලදීගතහොත් රුපියල් 93කට සහල් විකිණිය හැකි බවද, රුපියල් 55කට මිලදීගතහොත් සහල් මිල 101කට යන බවද, රුපියල් 60කට මිලදී ගතහොත් රුපියල් 111කට හාල් විකුණන්න සිදුවන බවද කියා සිටියේය. එමනිසා රජය පාලන මිලක් දමා රුපියල් 50කට වී මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද පැවසුවේය. ගොවියාගේ නිෂ්පාදිත මිල රුපියල් 25ත් 30ත් අතර මුදලකි.

    මෙම මාධ්‍ය හමුව සදහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයාද සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya