මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් දිස්ත්‍රීක් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගිවීම අනිවාර්යයි - ජනාධිපති

    පෙබරවාරි 20, 2021

    Ø ස්ථීර විසඳුම් දීමට පෙර භූමියට ගිහින් බලන්න ...

    Ø වන අලි ගම් වැදීම නතර කිරීමට දිගුකාලීන තිරසර විසඳුමක් ...

    Ø වැරදි අර්ථ කථන දී ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ඉඩදෙන්න එපා ...

    පුත්තලම “ගම සමග පිළිසඳරේදී” ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ....

    ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    වගකිවයුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායක ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමිවීමට මුලික හේතුව බව “ගම සමග පිළිසඳර” ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බව ජනාධිපතිතුමා කියා සිටී.

    නිලධාරීන්, ඒ ඒ ආයතන සහ ජනතා නියෝජිතයන් අතර කඹ ඇදීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වන ජීවි, වන සංරක්ෂණ, පරිසර, මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකිවයුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    ඉඩම් පරිහරණයේ නිසි සැලැස්මක් නොමැතිවීම ජනතාව අතින් වූ වරදක් නොවේ. ඉඩම් ප්‍රශ්න ඇතුළු බොහෝ ග්‍රාමීය ජන ගැටළුවලට ස්ථීර විසඳුම් දීමේදී නිලධාරීන් භූමියට ගොස් සැබෑ තත්ත්වය සියැසින් දැක තීරණ ගැනීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා කියා සිටී.

    ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන දෙති. එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    අද (20)පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පලීගම ග්‍රාම නිලධාරී වසමට අයත් නෙළුම්වැව ප්‍රජා ශාලා භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 11 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

    “ගම සමග පිළිසඳර” සඳහා තෝරා ගන්නේ දිවයිනේ දිළිඳුතම සහ දුෂ්කරතම ගම්මානයක්. මේ ගම්වල ජිවත්වන ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු සමූහයකින් පීඩා විඳිති. නිලධාරීන්ගේ හෝ වෙනත් පාර්ශවයක හෝ කෝණයෙන් පමණක් බලා මේ ගැටළු විසඳීමට නොහැකිය. එබැවින් නිලධාරීන් සහ ගැමියන් එකිනෙකා සමග මුණගැස්වීමෙන් නිවැරදි තීරණ ගැනීමට පිළිවන” පලීගම පිළිසඳර භූමියට රැස්ව සිටී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසීය.

    2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

    පුත්තලම නගරයේ සිට කි.මි 23ක් දුරින් නවගත්තේගම සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට මායිම්ව පලීගම ග්‍රාමය පිහිටා තිබේ. මේ ගම්මානය දුටුගැමුණු මහ රජතුමාගේ පලිහ වැටුණු ගම ලෙස ජනප්‍රවාදවල සඳහන් වේ. එය පසුව පලීගම බවට පත්ව ඇත. නෙලිවැව, සියඹලාවැව, නෙළුම්වැව, රජවිගම සහ හීනටිකල්ම පලීගම ග්‍රාම සේවා වසමට අයත්ය. දැදුරු ඔය ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදු වූ වාරියපොළ, යාපහුව, නිකවැරටිය හා හිරියාල ප්‍රදේශවල පවුල් 78ක් පළමු අදියර යටතේ ගම්මානයේ පදිංචි කරවා ඇත. වර්තමානයේ පවුල් 447කින් සමන්විත පලීගම ජනගහණය 1533කි. ඉන් පවුල් 171ක් සමෘද්ධිලාභීහූ වෙති. වී සහ හේන් ගොවිතැන ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

    වන අලි ගම්වැදී සිදුකරන වගා සහ ජීවිත හානි ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින බරපතල හා දිගුකාලීන ප්‍රශ්නයකි. මේ ගැටළුවට පැලැස්තර පිළියම් සොයන්නේ නැතිව සැලසුම්සහගත දිගුකාලීන සහ ස්ථීරසාර විසඳුමක් දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. දිගු කාලීන විසඳුම් ලෙස කැලෑ අභ්‍යන්තරයේ වැව් ඉදි කිරීම, වන අලින්ගේ ආහාරයට අවශ්‍ය ගහ කොළ වගා කිරිම, විදුලි වැට සක්‍රීය කිරීම, අගල් කැපීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    පලීගම වෙත පැමිණෙමින් සිටියදී තමා දුටු ජන ජීවිතයට බලපාන අඩු පාඩු ගැන සඳහන් කළ රාජපක්ෂ මැතිතුමා ඇල මාර්ග නිසි ලෙස නඩත්තු කර නැති බව පැවසීය. වැව්, වල් පැළෑටි වැවි ගොඩවී තිබේ. ජන ජිවිතය නැංවීමට නිසි සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවක් දක්නට නැත. ගොවීන්ගේ අස්වනු වැඩි කිරීමට පියවර ගත යුතු බව ද එතුමා කීය.

    අද ගම සමග පිළිසඳරේ දී ප්‍රදේශයේ අධ්‍යාපන අවශ්‍යතා ජනාධිපතිතුමාගේ විමර්ශනයට ලක් විය. රජවිගම කණිෂ්ඨ විද්‍යාලය, මුරියාකුලම කණිෂ්ඨ විද්‍යාලය, අලුත්ගම දුටුගැමුණු විද්‍යාලය, ආණමඩුව යූ.බී. ජයසුරිය විද්‍යාලය, ඉඟිණිමිටිය මහා විද්‍යාලය සහ ගලවැව මහා විද්‍යාලය යන පාසල්වල ගොඩනැගිලි, ක්‍රීඩා පිටි සහ සෙසු පහසුකම් සංවර්ධනයටත්, ගුරු හිඟය පියවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    දිවයිනේ සෑම පාසලකම ගොඩනැගිලි සහ මානව සම්පත් අවශ්‍යතා වසර 05කින් සම්පූර්ණ වන පරිදි සැලසුම් කිරීමටත්, දුෂ්කර ප්‍රදේශවල පාසල් ගොඩනැගිලි සරල සහ අඩු වියදම් සහිත සැලැස්මක් යටතේ පාසල් වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කළ හැකි පරිදි සැලසුම් කිරීමටත් ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට නියම කරන ලදී.

    රජවිගම - පලීගම, නුරියාකුලම - ගල්කුලම, පලීගම - නෙළුම්වැව, මුල්ලේගම - ඉඟිණිමිටිය, විජයපුර මාවත, නුරියාකුලම - නෙළුම්ගම යන මාර්ග සහ කල්අඩිය - මීඔය පාලම කඩිනම් සංවර්ධනයටත් තීරණය විය.

     

    පානීය ජලයට ලවණ මිශ්‍රවීම ජනතාව මුහුණ පා ඇති තවත් ගැටළුවකි. පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පානීය ජල අවශ්‍යතාව සපුරාලීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    ප්‍රදේශයේ වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය පිළිබඳ ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

    හීනටිකල්ම වැව, නෙළුම් වැව, මොරගහ වැව, ඉඟිණිමිටිය, තබ්බෝව, පුලියම්කුලම, කහටපිලියාව ඇතුළු ප්‍රදේශයේ වැවි සහ වේලි කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජාංගනය ජලාශයේ සිට කරුවලගස්වැවට ජලය ගෙන යාමේ ව්‍යාපෘතිය නව සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරිමට ද තීරණය කෙරිණ.

    ආණමඩුව, හලාවත, නවගත්තේගම, තබ්බෝව, අලුත්වැව රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයටත්, වෛද්‍ය හෙද සහ සෙසු කාර්ය මණ්ඩල හිඟය පිටුදැකීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා අවධාරණයනේ පැවසීය.

    SLT මොබිටෙල් ආයතනය රජවිගම සහ මුරියාකුලම කණිෂ්ඨ විද්‍යාලවලට පරිත්‍යාග කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 02ක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු වන එන්.කේ. විජේරත්න මහතා කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස රුපියල් 50,000ක මුදලක් ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

    වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, පියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක අමල් මායාදුන්න, අශෝක ප්‍රියන්ත, අලි සබ්‍රි රහීම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් පලීගම “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya