මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකතට පැළ රෝපණය සඳහා අවශ්‍ය බීජ සිටුවීම අරඹයි

    පෙබරවාරි 03, 2021

    ලෝක තෙත් බිම් දිනය  දින (02)  සමරමින් ඊට සමගාමීව “නැකතට පැළයක්” නමින් රුක්රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අද දින පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

    එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අනුව යමින් අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන බලවත් රුක්රෝපණ නැකතක් ජාතික නැකැත් පත්‍රිකාවට ඇතුළ කර තිබේ. ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් පරිදි එකම නැකත් වේලාවක් තුළ දිවයිනේ සෑම ගෙවත්තකම එක් පැළයක් හෝ රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා අවශ්‍ය පැළ සකස් කර ගැනීම සඳහා බීජ රෝපණය කිරීම සංකේතවත් කරමින් වැඩ සටහනක් අද දින පරිසර අමාත්‍යාංශයේ දී ආරම්භ විය.

    එම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ද , පුජ්‍ය පක්ෂය නියෝජනය කරමින් හින්දු හා බෞද්ධ පූජකතුමන්ලා ද සහභාගි වුහ.

     මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක තෙත් බිම් දිනය අද දිනට යෙදී තිබෙනවා. 1971 පෙබරවාරි 02 දින ඉරාණයේ රැම්සාර් හි දී පැවැති සම්මුතියේ දී ලෝක තෙත් බිම් දිනය ප්‍රකාශයට පත් වුනා.

    අප රටේත් ප්‍රධාන වශයෙන් තෙත් අභයභූමි 06ක් රැම්සාර් තෙත් බිම් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බුන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභයභූමිය, මාදුගඟ අභයභූමිය, වාන්කලේ අභය භූමිය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය එම තෙත් බිම් 06යි. මීට අමතරව රැම්සාර් තෙත් බිමක් ලෙස නම් නොකළද අප රටේ පෙනහැල්ල ලෙස හඳුන්වන මුතුරාජවෙළ තෙත් අභයභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා අපිට දැවැන්ත සටනක් සල්ලි පස්සේ දුවන ඇතැම් ව්‍යාපාරිකයින්, පාතාලයේ චන්ඩින් හා වෙනත් පුද්ගලයින් මෙන් ම ඇතැම් රාජ්‍ය නිලධාරින් සමග ද කිරීමට සිදුව තිබෙනවා.

    පසුගිය කාලය තුළ මුතුරාජවෙළ සම්බන්ධව විවිධ සැලසුම් සහගත ව සිදු කෙරෙන අනවසර ගොඩ කිරීම් සම්බන්ධව වාර්තා වුනා. ඔබලාට මතක ඇති එක් දේශපාලනඥයෙක් කියා තිබුනා ඔක්සිජන් කන්නද කියළා. ඔක්සිජන් අපිට ලබා දෙන්නේ තුරු ලතා විසින්. ගහකොළ විනාශ කළ පසු සොබා දහමට අවශ්‍ය ඔක්සිජන් නිපදවීම සිදුවන්නේ කෘත්‍රිමව. අද ලෝකයේ සමහර රටවල් වායු දූෂණය නිසා ඔක්සිජන් ටැංකි පිටේ බැඳ ගෙන යාමේ තත්ත්වයට පත් වී තිබෙනවා. වාසනාවට අපේ රටේ එවැනි තත්ත්වයක් තවමත් උදා වී නැතත්, අද ගහකොළ විනාශ කරන ආකාරයට තව වසර කිහිපයක දී අපිත් ඒ තත්ත්වයට පත්වීමේ අවධානමක් තිබෙනවා.

    අද අපි ආරම්භ කරන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව අප්‍රේල් 16 දිනට යෙදී තිබෙන නැකතට පැළ සිටුවීම සඳහා අවශ්‍ය බීජ රෝපණය කිරීමයි. මෙම වැඩ පිළීවෙළට රටේ හැම කෙනෙකුගේම දායකත්වය අවශ්‍ය වෙනවා. අපේ රටේ ගෘහ ඒකක ලක්ෂ 53ක් පමණ තිබෙනවා. අඩුම තරමින් ඉන් ලක්ෂ 30කවත් රුක් රෝපණය කළහොත් අපිට එකම වේලාවට පැළ රෝපණය කිරීම සම්බන්ධව වාර්තාවකටත් යාමට හැකිවෙනවා. ඒ නිසා මම පරිසර අමාත්‍යවරයා වශයෙන් ඉල්ලා සිටින්නේ රටේ සියලු දෙනාම මීට සහාය දැක්විය යුතුයි කියායි.

    පරිසරය විනාශ කරන කිසිම පුද්ගලයෙකුට අපි සහනයක් ලබා දෙන්නේ නැහැ. දේශපාලඥයෙක් වුනත්, රජයේ නිලධාරියෙක් හෝ ව්‍යාපාරිකයෙක් වුනත් ඒ සියලු දෙනාටම එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලය තුළ පරිසරය විනාශ කළ පුද්ගලයින් සියයකට පමණ අපි නඩු පවරා තිබෙනවා. අපිට තරාතිරම මොකක් වුනත් ඒ සම්බන්ධව අපි කටයුතු කරනවා.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා. - අද මෙම ව්‍යාපෘතිය අපි අරඹන්නේ ඉතාමත් අලංකාර පරිසරයක් ඇති ස්ථානයක. මම හිතන්නේ ගහකොළ වලින් වටවෙච්චි මෙවැනි පරිශ්‍රයක් කොළඹ වෙනත් ස්ථානයක ඇත්දැයි මම දන්නේ නැහැ.කොහොම වුනත් අද ලෝක තෙත් බිම් දිනය වශයෙන් නම් කර තිබෙන අවස්ථාවක මෙම වැඩ පිළීවෙළ ආරම්භ වීම සතුටක්.

    තෙත් බිම් කියන්නේ අපේ ශරීරයේ පෙනහැල්ල වගේ. අපේ සිරුරේ රුධිරය පිරිසිදු කිරීමට අවශ්‍ය ඔක්සිජන් පෙරා දෙන්නේ පෙනහැල්ල මගින් . ඒ වගේම මිනිසා ඇතුලු සතුන්ට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් මෙන්ම පිරිසිදු ජලය ලබා දීම සිදු කරන්නේ තෙත් බිම් විසින්. නමුත් අද අපි මෙම තෙත් බිම් විනාශ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.

    අද අපි ආරම්භ කරන්නේ අප්‍රේල් මස 16 දිනට යෙදෙන ජාතික රුක්රෝපණ නැකතට රෝපණය කිරීමට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම. මේ සඳහා සියලු ජනතාවගේ සහයෝගය ලබා දීම ජාතික යුතුකමක් යැයි මම සිතනවා. එමෙන්ම පරිසර අමාතයාංශය විසින් අපේ රටේ වනගහණය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩ සටහන් රාශීයක් ආරම්භ කර තිබෙනවා. එමගින් අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ වනගහනය සියයට 30ක් දක්වා ඉහළ නැංවීම. මෙම කටයුතු රජයට පමණක් තනිවම කළ හැකි ඒවා නොවෙයි. ඒ සඳහා රටේ සියලු පාර්ශ්ව වල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා යැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya