අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

    ජනවාරි 18, 2021

    සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 15 වන දින කටයුතු කරන ලදී.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් 2021 ජනවාරි මස 13වන දින සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් (ලියාපදිංචි අංක OFRP –A-2657 PTM) එහි සිටි ධීවරයින් දෙදෙනා සමඟ අතුරුදන් වී ඇති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය වන ලෙසත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදී. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල ඩිංගි යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය ද දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

    ඒ අනුව, එම ඩිංගි යාත්‍රාව එහි පිටත දහන යන්ත්‍රයේ ඇතිව තිබූ කාර්මික දෝශයක් හේතුවෙන් අන්තර්ජාතික මුහුදු සීමාවෙන් (IMBL) ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් තිබියදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් මගින් සොයා ගන්නා ලද බව ‍ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය විසින් කොළඹ නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය දැනුවත් කරන ලදී. පසුව එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) රැගෙනඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් කටයුතු කළ අතර ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්‍ෂා නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාව වෙතින් භාරගෙන ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට 2021 ජනවාරි 15 වන දින කටයතු කරන ලදී.

    කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට කටයුතු කරන ලදි. තවද, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් 2020 වර්ෂයේදී සහ මෙම වසරේ ගතවූ කාලසීමාව තුලදී පමණක් ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කළාපය තුල විවිධ ආපදාවන්ට ලක් වූ වෙළඳ නෞකා 48 ක් සහ ධීවර යාත්‍රා 123 ක් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට සම්බන්ධීකරණයවී කටයුතු කර ඇත. එමෙන්ම එම කාලසීමාව තුල මුහුදේදී ඇති වූ හදිසි ආපදා හා රෝගාබාධ හේතුවෙන් ජීවිත අවදානමට ලක්ව සිටි නාවිකයින් සහ ධීවරයන් 98 දෙනෙකුගේ ජීවිත මුදවා ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya