පෙබරවාරි 26, 2021
tami eng youtube  twitter facebook

    රජරට පන් කර්මාන්තය වියැකී යා නොදී පන් කර්මාන්තයේ නියැළෙනන් නගා සිටුවීමට කෙරෙහි අවධානය

    ජනවාරි 17, 2021

    රජරට පන් කර්මාන්තය වියැකී යා නොදී පන් කර්මාන්තයේ නියැළෙනන් නගා සිටුවීමට කෙරෙහි මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමු විය.

     

    “ගම සමග පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට ” මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීමේ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගම්මානයේ ජනතාවගෙන්ම යෝජනා ලබා ගැනීමේ ගම සමඟ පිළිසඳරක්- වැඩ සමඟ යළි ගමට නම් වත්මන් රජයේ වැඩසටහනකදී මිහින්තලය කුනුරාගම ගම්මානයේ පන් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍යය කටයුතු කරන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව අදාළ ගම්මානය මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.


    අමාත්‍යයතුමන් එම ගම්මානයේ පන් ආශ්‍රිත නිර්මාණයන්ගේ නියැළෙලන්නන් හමුවට ගොස් ඔවුන්ට පවතින ගැටලු විමසා සිටියහ.එහිදී ඔවුන් කියා සිටියේ තම නිර්මාණයන් සඳහා නිසි වෙළඳපලක් නොමැති බවයි.ඒ හේතුවෙන් තම දුවා දරුවන්ද පන් කර්මාන්තයේ නියැළීමට මැලිකමක් දක්වන බව කර්මාන්තකරුවන් පැවසීය.පන් කර්මාන්තයේ නියැළෙන කාන්තාවන්ගේ නිර්මාණයන්ද නිරීක්ෂණය කළ අමාත්‍යයතුමන්, අදාළ නිර්මාණයන්ගේ නිමාව තව තවත් වැඩි දියුණු කිරීම සහ නව නිර්මාණයන් කිරිමට නිර්මාණකරුවන් යොමු කිරීම සඳහා පුහුණුවක් ලබා දීමට මෙන්ම අදාළ නිර්මාණ සඳහා වෙළඳපලක් නිර්මාණය කර දීමටද අමාත්‍යයතුමන් එහිදී පොරොන්දු විය.


    පාරිසරික හිතකාමී බවින් මෙන්ම අලංකාරවත් බවින්, සැහැල්ලු බවින්, දිගුකාලීන පැවැත්මෙන්, සුවදායක බවින් සහ ප්‍රියමනාප ස්වභාවයෙන් යුතු දේශීය පන්නම් කර්මාන්තය මෙරට සාම්ප්‍රදායික ජන සමාජය තුළ අනාදිමත් කලක පටන් පවතියි.වැව් අසල වැවෙන පන් ගසින් පැදුරු, මාගල්,කළාල, බිත්ති සැරසිලි, කූඩ,පාපිසි,මුදල් පසුමිබි,වට්ටි, පෙට්ටි,අතුල්පත්, ගමන්බෑග්, හැදි දින ආනල, කුණු කූඩ, වතුර බෝතල් සඳහා බෑග්, තල් කොළ ආශයෙන් කුළු හා බෑග් වර්ග හා ප්ලාස්ටික් පටි යොදා ගෙන බෑග් වර්ග ආදී නිර්මාණ රැසක් මෙම ගම්මානයේ කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරති.


    ඈත අතීතයේ පන් ආශ්‍රිත නිර්මාණයන්ට වැඩි වටිනාකමක් හිමිවූවද මේ වන විට ප්ලාස්ටික් භාණ්ඩ වලට හුරු වීමත් සමඟින් පන් කර්මාන්තය බිඳ වැටෙමින් පවතියි.දේශීය දේ දිනෙන් දින අ‍‍‍‍භාවයට යන කාලයක පන් කර්මාන්තය වර්තමානය වන විට ජනතා හදවත්වලින් සහමුලින්ම වියැකී ගිය කර්මාන්තයක් බවට පත් වී හමාරය.
    හාල් පන්, කාමරංග, බොරු පන්, තුන්හිරියා, හැවැන්, ගල්ලැහැ, පොතු පන්, එලු, ගැටැහැ, තුනැස්ස, තෙලහිරියා, හම්බු ආදී නම් පන් වර්ග රැසක් තිබෙන බවත්, මේ වන විට පන් ශාකයද විනාශ වී යන බවත් කර්මාන්ත කරුවන් පවසති.ශාකවල පන් ඉදිරීමද සිදු කරන බවත් පන් කැත්ත නම් උපකරණයෙන් සීරුවට ඇතැම් පන් වර්ග කපා ගැනීම තුළින් පන් නෙළීම සිදු කරන බවත් කර්මාන්ත කරුවන් පැවසීය.


    නෙළාගත් පන් පැදුරක් හෝ නිර්මානයක් ලෙස පුරන්නට සුදුසුවන ලෙසින් සකසා ගැනීම බාරදූර කාර්යයකි. නෙලූ පන් අව්වේ වේලලා හොඳ පන් තෝරා සායම් පොවා නැවත් වේලා ගැනීම සිදුකළ යුතුවේ. පසුව පන් මෝලෙන් තලා වියමනට සුදුසු වන අන්දමට සකසා ගැනීම සිදුවේ. අපරිමිත දුක් කන්දරාවක් පන් නිර්මාණයක් පිටුපස තිබේ. පන් පැදුරු වියන්නටද මහත් ප්‍රාගුණ්‍යයක් මෙන්න හොඳ ඉවසීමක් අවැසිය. රටා පැදුරු විවීම මෙයින් බරපතළ කාර්යයයි.


    පැදුරු කර්මාන්තය සදහා භාවිත වන අලංකාර වූ පාරම්පරික නිර්මාණ රටා අතර වංකගිරිය, පියුම් මල, තාරකා මල ආදිය දැකිය හැකිය. වියනු ලබන පැදුරෙහි විසිතුරු බව වැඩිකිරීම සඳහා පෙත්ත, දෙපොට ලණුව සහ මල්ගස් යන රටාද නෙලුම් මල්, නා මල්, අටපෙතියා මල්, දියරැල්ල රටාව ආදියෙහි හැඩ තල ද භාවිත කරයි . ඉර, හඳ, තාරකා මෙන්ම ගෝනුන්, මුවන්, ඇතුන්, අසුන්, නාගයන් වැනි සතුන් ද රටා පැදුරු විවීමේ දී මෝස්තර ලෙස විවිධාකාරයෙන් උපයෝගී කොටගෙන තිබේ. ගල්තරු රටාව, හී රටාව, හරස් රටාව, හංස පූට්ටුව ආදිය පැදුරු සඳහා ගැමි ලියන් භාවිත කොට ඇති තවත් රටා කිහිපයකි.විවිධ රටාවලින් පැදුරු විවීම වෙනම ප්‍රගුණ කළයුත්තකි. එක් තැනක වැරදුනහොත් මුළු පැදුරේම රටාවන් වරදින බවද ඔවුන් පවසති.


    දේශීය දේ සඳහා මුල් තැන දෙන වත්මන් රජය,මේ අයුරින් මහත් පරිශ්‍රමයකින් නිම කරන පන් නිර්මාණයන් සඳහා නිසි වෙළඳපලක් කඩිනිමින් ලබා දී පන් කර්මාන්තකරුවන් නගා සිටුවන බවට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම නිරීක්ෂණ චාරිකාවේදී පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya