අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකාවේ නිර්වේතනික කොන්සල්වරු ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා කැපවිය යුතු බව අවධාරණය කෙරේ

    ජනවාරි 13, 2021

    අප්‍රිකානු කලාපයේ ද්වීපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා යහපත් හැඟීමක් ඇති කරගත යුතු බව දකුණු අප්‍රිකාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා
    අවධාරණය කළේය.

    දකුණු අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා සහ එම මහ කොමසාරිස් කාර්යාලය සඳහා අක්තගන්වන ලද රටවල නිර්වේතනික
    කොන්සල්වරුන් අතර අන්තර්ජාලය හරහා පැවති රැස්වීමකදී මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කෙළේය. ඉකුත් 10 වන දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්
    කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමේදී නිර්වේතනික කොන්සල්වරු නව මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් අතර, ශ්‍රී ලංකා රජයට සහ ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා දූත
    මණ්ඩලයට සිය සුබ පැතුම් එක් කළහ.

    රැස්වීම අමතමින්, නම් කළ මහ කොමසාරිස්වරයා සඳහන් කළේ වත්මන් රජයේ ප්‍රමුඛතා ප්‍රතිපත්ති අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කීරීම කෙරෙහි විශේෂ
    අවධානයක් යොමු කර ඇති බවයි.

    මලාවි සඳහා නිර්වේතනික කොන්සල් රංජන් පෙරේරා මහතා ඇඟලුම්, පතල්, බලශක්ති සහ කෘෂිකාර්මික යන අංශවල පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳව විස්තර කළ අතර, මලාවියානු
    කර්මාන්ත සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට ආරාධනා කළේය. දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවට අයත් කලාපයේ සියලුම ටෙන්ඩර් සහ ව්‍යාපෘති අදාළ
    කොන්සියුලර් කාර්යාල මඟින් උඩුගත කිරීම සඳහා වෙබ් ද්වාරයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවට ඔහු යෝජනා කළේය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට
    විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම සහ ඔවුන්ගේ සහභාගීත්වය ඉල්ලා සිටීම සඳහා එය ඉවහල් වනු ඇතැයි ඔහු පුරෝකථනය කළේය. මලාවි හි අප්‍රිකාවේ දෙවැනි විශාලතම ශ්‍රී ලාංකික
    විදේශික ප්‍රජාව සිටින බවත් මලාවි හි සිටින ශ්‍රී ලාංකික විදේශිකයන් ආගන්තුක සත්කාරය, ගොවිතැන වැනි කර්මාන්තවල සේවය කරන බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් දායක වන ඉහළම
    වෘත්තිකයන් වන්නේ ගණකාධිකාරිවරුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    සැම්බියාව සඳහා නිර්වේතනික කොන්සල් සහ අප්‍රිකානු කලාපයේ LOLC සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී එල්මෝ ජයතිලක මහතා පවසන පරිදි, ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරික
    අවස්ථා පවතින අතර, දැනට ශ්‍රී ලංකා සමාගම් කිහිපයක් ඖෂධ නිෂ්පාදන සහ වැවිලි අංශය සඳහා සැම්බියානු වෙළඳපොළට පිවිසීමේ සාකච්ඡා ක්‍රියාවලියේ යෙදී සිටී. එසේම, ශ්‍රී ලංකාවේ
    වෘත්තීය ගණකාධිකාරීවරුන් සැම්බියානු සමාගම්වල සේවය කරන බව ඔහු පැවසීය. බොට්ස්වානා සඳහා නිර්වේතනික කොන්සල් ප්‍රියලාල් ද සිල්වා මහතා, ආසියානු විදේශිකයන් කෙරෙහි
    විශේෂයෙන් අවධානය යොමු කර ඇති එරට තුළ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව පැහැදිලි කළ අතර, දෙරට අතර අඩු වෙළඳ පරිමාවක් පවත්වා ගැනීම සඳහා හේතුවන ඉහළ සැපයුම්
    සේවා පිරිවැය පිළිබඳ ගැටළුව ඉස්මතු කළේය.

    මොසැම්බික් සඳහා නිර්වේතනික කොන්සල් වාලි හසම් මහතා ශ්‍රී ලංකා අපනයනකරුවන් සහ පතල්, කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ හවුල් ව්‍යාපාර අපේක්ෂකයින් සඳහා පවතින
    ව්‍යාපාරික අවස්ථා සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. දෙරට අතර වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා, සමීප ද්විපාර්ශ්වික සබඳතාවයක අවශ්‍යතාවය පිළිබඳව ඔහු යළි
    සිහිපත් කළේය.

    පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ දී, මතු වූ නව ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර අවස්ථා පිළිබඳව පුළුල් ලෙස ගවේෂණය කිරීමේ අපේක්ෂාවෙන් යුතුව රැස්වීම අවසන් කරන ලදී. මෙම රැස්වීමට මහ
    කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා සමඟ රන්ජන් පෙරේරා මහතා - මලාවි සඳහා නිර්වේතනික කොන්සල්, එල්මෝ ජයතිලක මහතා - සැම්බියාව සඳහා නිර්වේතනික කොන්සල්, වාලි
    හසම් මහතා - මොසැම්බික් සඳහා නිර්වේතනික කොන්සල්, ප්‍රියලාල් ද සිල්වා මහතා - බොට්ස්වානා සඳහා නිර්වේතනික කොන්සල්, සැකී අයිපිනිජ් මහතා - නැමීබියාව සඳහා නිර්වේතනික
    කොන්සල් යන අයද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya