අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කළ තර්ස්ටන් විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල සිසු අයිතියට

    ජනවාරි 11, 2021

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වැනි උපන් දිනයට සමගාමීව ප්‍රතිසංස්කරණය කළ එම විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 11 දින විවෘත විය.

     

    අනාරක්ෂිත හා අබලන් තත්ත්වයේ පැවැති මෙම පෞරාණික ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

    ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පමණක් තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් මිලියන 13ක මුදලක් වැයකර ඇත.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පීත්ත පටිය කපමින් ගොඩනැගිල්ල විවෘත කළේය.

    තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ගොඩනැගිල්ලේ සිප් සතර හදාරා තිබීම විශේෂත්වයකි.

    71 වසරක තර්ස්ටන් ඉතිහාසය තුළ වෘත්තීමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරු තිළිණය මෙහිදී තර්ස්ටන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන ශිෂ්‍යනායක විසින් අග්‍රාමාත්‍යතුමාට ප්‍රදානය කළහ.

    අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං මහත්වරුන්ට මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

    චීන ආරක්ෂක විද්‍යාලයීය ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථ සංගමය හා චීන සමූහාණ්ඩුවේ සම්බන්ධීකරණයෙන් Huawei Idea hub විසින් පිරිනැමූ රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පංති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් විද්‍යාලයට භාර දීම ද මීට සමගාමීව සිදුවිය.

    තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී රවිප්‍රිය විසින් ඊට අදාළ ප්‍රදානය අග්‍රාමාත්‍යතුමාට භාර දුන්නේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රි ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය, විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ ඇතුළු තර්ස්ටන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයන්, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් සහ පාසල් දරුවන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya