අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් බ්ලූමැන්ඩල් ස්ටේඩියම්ගමට නිවාස 210 ක්

    ජනවාරි 09, 2021

    * 2024 වන විට නිවාස එක්ලක්ෂ විසිදහසක් ඉදිකිරීමේ ඉලක්කයක්- අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 8000 ක් ඉදිකෙරෙමින් පවතී.

     අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ තවත් පියවරක් පසුගිය   දින ස්ටේඩියම්ගම දී ආරම්භ කෙරිණ.

    ඒ යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනය අසල පිහිටි ස්ටේඩියම්ගමට නව නිවාස 210 ක් ලබා දීම ආරම්භ කෙරිණ.

    වසරක් ඇතුළත මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නියමිතයි. සුගතදාස ක්‍රිඩාංගනය ආසන්නයේ මෙම නිවාස සංකීර්ණය ඉදිකෙරෙන අතර නිවාස සංකීර්ණය අවට වාණිජ ගොඩනැගිලි කිහිපයක් ද පවතී.

    උතුරු කොළඹ ප්‍රදේයේ පදිංචිවීමට ස්ටේඩියම්ගමට නිවාස සංකීර්ණය ඉතා හොඳ ස්ථානයක් බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

    ස්ටේඩියම්ගමට නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම පසුගිය 06 වැනි දා පැවැත්වුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම හරහා ද කොරෝනා හමුවේ බිඳවැටී ඇති ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍ය අඩිතාලම සකසන බවයි.

    “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ 2019 නොවැම්බර් මාසේ 16 වැනි දා සිට අද වනතුරුත් අපි හැම වැඩක්ම සිදුකළේ යම්කිසි සැලැස්මකට අනුව. ඒ සැලැස්ම තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ සියල්ලම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනකොට මම හිතනවා සමහර වෙලාවට ඒ කරපු වැඩ වලට මාධ්‍යවලින් හරියාකාරව සාධාරණය ඉෂ්ට වුණාද කියලා. මේ කාලයේ අපි කතා කළේ බොහෝ දුරට මේ කෙරෝනා ප්‍රශ්නය ගැන විතරයි. මොකද ජනාධිපතිතුමා බලයට පත්වෙලා මාසයක් යන්නත් කලින් කෙරෝනා අර්බුදය ලෝකෙට ආවා. ලංකාවටත් ඒකට මුහුණ දෙන්න සිදු වුණා. ඇත්ත වශයෙන් ම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට පසුගිය කාලයේ අපේ අමාත්‍යාංශය රෑ දවල් නොබලා වැඩ කළාට කෙරෝනා ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. කෙරෝනා කියලා අපේ වැඩ නතර වුණේ නෑ. හැම පැත්තකින්ම අපි විසින් කළ යුතු යුතුකම් කොටස අපි ඉටුකළා. නගර අලංකරණය පැත්තෙන්, වැසි ජලය කළමනාකරණය පැත්තෙන්, නිවාස සංවර්ධනය පැත්තෙන් ආදී මේ හැම පැත්තකින් ම කරන්න ඕන යුතුකම් කොටස අපි කරගෙන ආවා. අපි දන්නවා පසුගිය වසර පහක කාලයක් තිස්සේ මේ අමාත්‍යාංශය හරහා අලුතින් පටන් ගත්ත නිවාස දිහා බැලුවම දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අළුතින් ආරම්භ වෙලා තිබුණේ නිවාස 450 ක් විතරයි. ඒකත් අවසන්වෙලා තිබුණේ නැහැ. අපි මේ වන විට අලුතෙන් දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස 8000 කට වඩා හදන්න පටන් අරන් තියෙනවා. ඊට අමතරව මේ සිදුකරගෙන යන්නේ මධ්‍යම ප්‍රාන්තිකයන් සඳහා හදන නිවාස. අපි නිවාස පන්දාහකට අනුමැතිය ලබාගෙන මේ සති දෙක තුළ අපි නිවාස තුන්දාහක් ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල තබනවා. දවසකට ව්‍යාපෘති දෙකක් හෝ තුනක් විතර අපි දිනපතා ආරම්භ කරනවා. මේ අපේ අමාත්‍යාංශය කරන වැඩවලින් එක කොටසක් විතරයි. මේවා තමයි අපිට අවශ්‍ය මේ ආර්ථිකය යළි පණගන්වන්න. මොකද අද ලෝකයේ විශාල අර්බුදයක් නැහැ. තෙල් අර්බුදයක් නැහැ. මූල්‍ය අර්බුදයක් නැහැ. ආහාර අර්බුදයක් නැහැ. අද තියෙන්නෙ මේ වැඩ නතර වීමේ අර්බුදය. මුදල් සංසරණය වීමේ අර්බුදය. ඒ නිසා තමයි රැකියා නැති වෙන්නේ. ඒ නිසා තමයි ආදායම නැති වෙන්නේ. ඒ නිසා අපි 2020 ටත් වඩා හොඳට 2021 වඩාත් කාර්යක්ෂමව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ජනතාව අතරට මුදල් නිදහස් කරනවා. මේ නිවාස ව්‍යාපෘතීන් මඟින් පමණක් රුපියල් කෝටි 4000 ක් පමණ මුදලක් නිදහස් වෙනවා අපේ ආර්ථිකයට. ඒ මුදල් ගලාගෙන යනවා මුළු රටේ ආර්ථිකය පුරාම. ඒවා වැටුප් වශයෙන් ගෙවනවා. කොන්ත්‍රාත් වශයෙන් ගෙවනවා. සැපයුම් වශයෙන් ගෙවනවා. ඒ විදිහට තමයි ආර්ථිකය යළි පණ ගන්වන වැඬේ කෙරෙන්නෙ. කෝටි ගානක මුදල් අපි ආර්ථිකයට නිදහස් කරනවා. ඔබතුමාලා මතක තියාගන්න ඕන තවත් එක් කාරණයක් තමයි ඉතාමත් ම පිරිසිදුව වැඩ කරන්න ඕන කියලා. කාටවත් ව්‍යාපෘතිවලට කොන්ත්‍රාත් ලබා ගන්න කාටවත් අල්ලස් දෙන්න අවශ්‍ය නැහැ. ඉතාමත් ම සාධාරණ විදියට ඒවාට ටෙන්ඩර් කැඳවලා, ඒවා හරියට විමර්ශනය කරලා, සුදුසුතම පුද්ගලයන්ව තෝරාගෙන ඒවා බෙදලා දීලා තියෙන්නේ. එදා තිබුණු දූෂණය අද නැහැ. රාජ්‍ය සේවකයින් සියලූ දෙනාගේම වගකීම වෙන්න ඕනේ රටේ ජනතාවට සේවය කරන එක. අපි ඵලදායි විදියට වැඩ කරන්න ඕන. වැඩ කරන ගමන් හැමතිස්සෙම රටේ අනාගතය ගැන හිතලා සැලසුමක් ඇතුව වැඩ කරන්නට ඕනේ.”
    යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ය.

     

    මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව සඳහා ද මුදල් වෙන් කර ඇති බවයි.

     

    “මුළු ලෝකය ම අඩපණ වෙලා. ළමයින්ට පාසැල් යන්න විදිහක් නැහැ. ලංකාවේ සාමාන්‍ය පෙළ ළමයින් බලාගන ඉන්නව කවදද විභාගය පටන් ගන්නේ කියලා. දකුණු ආසියාව ඉදිකිරීම් ක්ෂේත්‍රය හොඳටම වැටිලා තියෙන්නේ. මේ සියල්ල ම වෙලා තියෙන්නේ කොරෝනා වෛරසය නිසා. ඒ අනුව සියළු දෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂා වීම ඉතාම හොඳයි. නමුත් මං හිතන්නේ ඒ සියල්ල ම මැඩගෙන, ඒ සියළුම ප්‍රශ්නවලට උත්තර දීගෙන තමන්ගේ රාජකාරී කටයුතු කිරීම හොඳයි කියලා. ඒ කටයුතු ඉටු කිරීමේ ප්‍රතිඵලය මත තමයි අද ඔබ මෙතනට පැමිණිලා මධ්‍යම ප්‍රාන්තිකයන්ට නිවාස හදන්න මුල් ගල තියන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි සේවය කරන්න මිසක් සේවය ලබා ගන්න පැමිණි අය නෙමෙයි. ඒකයි වෙනස. නාගරික සංවර්ධන අධිකාරියත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයත්, ආචාර්ය නාලක ගොඩහේවා මහතාත්, නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන නිලධාරීන් සියලු ම දෙනාත් අනිකුත් නිලධාරිනුත් නොපිරිහෙලා තමන්ගේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් මේ මධ්‍යම ප්‍රාන්තිකයන්ට ගෙවල් 3000 ක් ලබා දීමේ අරමුණ ඉෂ්ට කරන්න ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා පටන් ගත්තා. මේ හතරවෙනි ව්‍යාපෘතියට අපි මුල් ගල තිබ්බා. මේ සියලු දේ සිදු වෙන්නේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුවයි. එහි අන්තර්ගත සංකල්ප දහයෙන් ප්‍රධාන සංකල්පයක් තමයි සැමටම සතුට පිරි පවුලක් කියන එක. හැමෝම සතුටින් පිරි පවුලක් බවට පත් කරන්න නම් ඒ අයට නිවසක් තියෙන්න ඕනේ කියන සංකල්පය මත අපි මේ සියලු දේ ඉටු කරනවා. මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මේ ගෙවල් 3000 හදන්න රුපියල් බිලියන 40 ක් වැය වෙනවා. මේ වෙලාවේ කොයි රජයට ද පුළුවන් මිලියන 40 ක් වෙන්කරලා නිවාස ප්‍රශ්නය විසඳන්න. වෙනත් රජයන් මේ වෙලාවේ බලන්නේ කොරෝනා එන්නත ගෙන්න ගන්නේ කොහොමද කියලා. ඒත් අපේ රජය කොරෝනා එන්නත ගෙන්න ගන්න ගමන් ම ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව හැමෝටම නිවසක් දෙන්න ක්‍රමවේදයක් සකස් කරනවා. 2024 වෙනකොට අපේ අමාත්‍යංශයත්, අපේ රාජ්‍ය අමාත්‍යාංශය තුළත් එක් ලක්ෂ විසි දහසක් සාදා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවත්. මේ අතරම අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ප්‍රශ්නයත් බොහෝවිට විසදේවි. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ඒවත් අපි මුදල් වෙන් කරල තියනවා.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

    නිවාස ප්‍රශ්නය විසඳීමෙන් පමණක් නොව ජනතාවට සතුටින් ජීවත්විමට අවශ්‍ය කරන නාගරික සංවර්ධනයත් ගොඩනැගීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.

     

    “නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හැටියට අද අපි බොහොම සන්තෝස වෙනවා මේ ප්‍රදේශයේ මේ පවතින තත්වය වෙනස් කරන්න අපි ගන්නා වූ උත්සාහය සම්බන්ධයෙන්. කැළිකසල සහ අනෙකුත් අකටයුතුකම් වලට ප්‍රසිද්ධ පළාතක් මේ පළාත. නමුත් මේ පළාතේ තියෙන භූමිය භාවිතයට අරන් මේ පළාතේ ජනතාවගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීම තමයි නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ක්‍රමය වෙනස් කරන්නට පටන් ගත්තේ අද ඊයේ නෙමේ. 2010 දී මේ ප්‍රදේශයට අපි එනකොට මේ ප්‍රදේශය ඉතාමත් අඩු ආදායම්ලාභීන් හා පැල්පත් මුඩුක්කුවලින් පිරිච්ච ප්‍රදේශයක්. අපි 2010 වර්ෂයේ මේ ප්‍රදේශයේ නිවාස 600 කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ම ජීවත්වන ජනතාවට හදලා භාර කළා. 2014 නොවැම්බර් තමයි අපි අවසාන නිවාස ව්‍යාපෘතිය හැටියට නිවාස 580 කට අධික ප්‍රමාණයක් වත්මන් අපේ අතිගරු අගමැතිතුමා, එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට බාර දුන්නා. ඒ ජනතාවටම අපි තමන්ටම කියලා නියම ලිපිනයක් හදලා දුන්නා “සිරිමුතු උයන” කියලා. මේ පළාතේ ජීවත් වන ජනතාවට තමන්ගේ දරුවට කියන්න පුළුවන් ලිපිනයක් ජනාධිපතිතුමා ලබා දුන්නා. එතනින් අපි නැවතුනේ නෑ. මේ පළාතේ ජනතාවට නිවාස හදන ව්‍යාපෘතිය 2010 න් පස්සේ නැවත අපි ආරම්භ කළා 2020 මැයි මාසයේ දී. ඒ දෙවැනි පියවර. මේ තුන්වෙනි පියවර. මේ පළාතේ ඉන්නවා නිවසක් නැති, කුලියට ජීවත්වන, රජයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන නිවාස අවශ්‍යතාවයෙන් පෙළෙන මහජනතාවක්. මේ ජනතාව ඉලක්ක කරගෙන තමයි මේ නිවාස 210 අපි හදන්නේ. ජන කොට්ඨාශ තුනකට නිවාස හැදීමේ ව්‍යාපෘතිය 2010 න් පටන් අරගෙන 2014 න් ඉවර කරලා ජනතාවට ලබා දුන්නා. 2020 නිවාස දාහක් හදන්න පටන් ගත්තා. ඒ නිවාස 1000 දැන් ඉදිවෙනවා. තවත් නොබෝ කලකින් අවුරුදු 1 1/2 කින් වගේ මේ පළාතේ ඉන්න ජනතාවට ඒ නිවාස 1000 බෙදලා දෙනවා. අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නේ ඉදිරි වසර 02 තුළ ඔබේ අනාගත බලාපොරොත්තුව වන නිවාස සිහිනය ඵල ගන්වන්න. ජනතාවට නිවසක් සමඟ නාගරික සංවර්ධනයත් මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශවල අපට පේනවා ජනතාවට ජීවත් වෙන්න නිවාස විතරයි තියෙන්නේ කියලා. මේක කොන්ක්‍රීට්වලින් පරිපූර්ණ ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තියෙන භූමිභාගය වෙනස් කරලා මේ රටේ ජීවත්වන, මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තමන්ගේ නිවහනේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම තමයි නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රමුඛතම කාර්ය වෙන්නේ. වරාය ආශ්‍රිත මේ කලාපය අපි සංවර්ධනය කරන්න විශාල සංවර්ධන සැලැස්මක් හදලා තියෙනවා. විශේෂයෙන් ම ගරු රාජ්‍ය අමාත්‍යතුමා ආචාර්ය නාලක ගොඩහේවා මහතා අපට උපදෙස් දීලා තියෙනවා හැම වෙලාවෙ ම නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන කොට මේ රටේ ප්‍රදේශවල අනන්‍යතාවය හදුනාගෙන ඒ ප්‍රදේශවලට ආවේණික වූ සැලසුම් හදන්න කියලා. ඒ කටයුත්ත අපි ඉදිරියේදී සැලසුම් කරනවා. විශේෂයෙන් ම ඒක තමයි අපේ ප්‍රමුඛතම ඉලක්කය වෙලා තියෙන්නේ.”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


    2010 වසරේ දී ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මීට පෙර මෙම ප්‍රදේශයට සුළු ආදායම්ලාභින් සඳහා නිවාස ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලද අතර එය නිවාස ඒකක 580 කින් සමන්විත වන ලදී.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya