මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුයි..

    නොවැම්බර් 29, 2020

     • අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුයි.......
    - ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

    මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්,
    පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල්
    රාජපක්ෂ මහතා පැවසීය.


    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා  දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් සමඟ (27) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


    විශේෂඥ කමිටු වලින්, අමාත්‍යංශ වලින් ලබාගත් අදහස් මෙන්ම ගම සමඟ පිළීසඳරක් වැඩසටහන යටතේ ජනතාවගෙන් ලබාගත් අදහස්ද උපයෝගී කරගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදි  ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනා ජනතාව අතරට ගෙනයාම ප්‍රායෝගීක කිරීම මේ තුළින්  බලාපොරොත්තු වෙයි. එහිදී සංවර්ධන ප්‍රමුඛතාවයන් කොටස් 06ක් ඔස්සේ එම යෝජනා ප්‍රමුඛතාගත කිරීමේ කාර්යභාරය පළාත් සහ දිස්ත්‍රික් නිලධාරින් වෙත පැවරෙයි. 2021 අයවැය යෝජනාවලියෙන් ඒ ඒ අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන් ගේ විෂය පථයන්ට අදාළව ඉදිරිපත් කළ යෝජනා විධිමත්ව ගම් මට්ටමින් ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය  ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකාය මූලිකත්වය ගෙන කටයුතු කරයි.


    මෙහිදි ආර්ථීකය නගාසිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ගම් 14,000ක ජනතාවගේ අදහස් හා යෝජනා  ලබාගැනීමට "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහන තවදුරටත් පුළුල් කර එහිදී නියෝජනය නොවූ පිරිස්වල සහ රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලබාගැනීමට "වැඩ සමඟ යළි ගමට" වැඩසටහන්  මාලාව පළාත් මට්ටමින් දියත් කිරීම දෙසැම්බර් 14 දින සිට 21 දින දක්වා ක්‍රියාත්මක කරන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා.
    අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයින් , රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියොජිතයින් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය  කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි. මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහිකර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම  සඳහා ග්‍රාමීය මට්ටමින් වෙළඳසැල් ආරම්භ කරනවා. හැම ගමකට ම ගිහිල්ලා ගමේ ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙමින් ඔවුන් සහභාගී කරගෙන "වැඩ සමඟ යළි ගමට" ක්‍රියාත්මක කිරීම  රජයේ අරමුණයි. මෙම අයවැය සැබැවින්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන්ට, සංස්කෘතියට හා දේශිය නිෂ්පාදනය මුල් කරගත් අයවැයක් බවත් ඒ සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මැදිහත් වන  ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
    අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට ක්‍රමවේදයන් එකිනෙකට වෙනස්. ඒ වගේම ග්‍රාමීය මට්ටමින්ද විවිධ අදහස් හා යෝජනා එන්න පුළුවන් ඒ නිසා ගමේ ප්‍රධාන කමිටුවක් හරහා ප්‍රමුඛතාගත කරලා  ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලදි අනුමත කරලා අයවැය යොජනා ක්‍රියාත්මක කළ යුතුයි. මේ තුළින් වඩාත් ඵලදායී ලෙස රටේ සංවර්ධන කටයුතු සිදුකරගන්න පුළුවන්.  සමූපකාර පාරිභෝගික අංශය පසුගිය රජය සමයේ අඩපණ වුණා. අපි නැවත ඒ අංශය නගාසිටුවන්න ඕන. එමෙන්ම ධාන්‍ය නිෂ්පාදන ආරක්ෂා කිරීමට ගබඩා පහසුකම් ගම් මට්ටමින් ලබාදීමටත්  අපි කටයුතු කරනවා. අප මූලික ප්‍රමුඛතා දෙන ක්ෂේත්‍රයන් කිහිපයක් තිබෙනවා. ඒ අනුව මෙවර අයවැයෙන් අපි අධ්‍යාපනය සෞඛ්‍ය සහ සමාජ සුභසාධනය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය  ලබාදෙනවා. ගමට සන්නිවේදනය යටතේ අධිවේගි අන්තර්ජාල පහසුකම ගමට ලබාදීමට අපි කටයුතු කරනවා. ග්‍රාමීය පාසල් වල දුරස්ථ අධ්‍යාපන දියුණුවට තවත් මිලියන 3000ක් වෙන් කර  තිබෙනවා. අපේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය තුළින් ඵලදායී සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අපේ අරමුණයි.

    මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි වූහ.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya