අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    77 කණ්ඩායම සමඟ වැඩ කරන්න ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය අපිට ශක්තියක්-විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    නොවැම්බර් 15, 2020

     

    77 කණ්ඩායම සමඟ වැඩ කරන්න ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය අපිට ශක්තියක්-විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන


    මාධ්‍ය නිවේදනය

     

    සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි

    මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට බාධා වන බහුවිධ අභියෝග ජය ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකිවන පරිදි සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දෙන ලෙස 77 කණ්ඩායම කළ ඉල්ලීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි අවධාරණය කළේය.

    77 කණ්ඩායමේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හතලිස් හතරවැනි වාර්ෂික රැස්වීම, ගයානා සාමූහික ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. “ප්‍රධාන ප්‍රමුඛතා ගැටළු හා කොවිඩ්-19 වසංගතය සඳහා ගෝලීය ප්‍රතිචාරය සහ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට හා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බාධක” යන තේමාව යටතේ මෙම අන්තර. ක්‍රියාකාරී සංවාදය පැවැත්විණි.

    වීඩියෝ ප්‍රකාශයක් මඟින්, අමාත්‍ය ගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී, ජී-77 හි අරමුණු සඳහා තවදුරටත් කැපවීමට ශ්‍රී ලංකාවට විශ්වාසය ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් එතුමාට ලබා දී ඇති ප්‍රබල ජනවරම පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රගතියේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීම තුළින්, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබිඹු වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ගැටලු හා සාමූහික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සහ සංවර්ධනය සඳහා දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම කණ්ඩායම විසින් සපයන ලද වේදිකාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය. දකුණු-දකුණු සහයෝගීතාවයට සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) හිටපු මහලේකම් ආචාර්ය ගාමිණී කොරෙයා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් ලද මුල් දායකත්වය ද එතුමා සිහිපත් කළේය.

    ප්‍රධාන දේශනය කළ ගයානා හි ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි මහතා හට, අමාත්‍ය ගුණවර්ධන මහතා කණ්ඩායමට ලබා දෙන නායකත්වය පිළිබඳව ප්‍රශංසා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ සභාපති වොල්කන් බොස්කීර් මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ද රැස්වීම ඇමතූහ.

    විදේශ අමාත්‍යාංශය -කොළඹ

    2020 නොවැම්බර් 13 වැනි දින

     

     

    77 කණ්ඩායම සමඟ වැඩ කරන්න ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය අපිට ශක්තියක්

    ඉකුත් වසරේ නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ දී සහ මේ වසර මුල දී පැවති මහ මැතිවරණයේ දී, එතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව අතිගරු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ප්‍රබල ජනවරම මඟින් ජී-77 හි අරමුණු සඳහා තවදුරටත් කැපවීම සඳහා අපට ශක්තිය ලැබි ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සඳහන් කරයි. 77 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ 44 වන වාර්ෂික සමුළුවට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

     

    "සාමූහික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ හැකියාව ප්‍රකාශ කිරීමට සහ ප්‍රවර්ධනය  කිරීමට මෙන්ම, සංවර්ධනය සඳහා වන දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජී -77 මඟින් වේදිකාවක් සපයා ඇත. වර්තමාන  සන්දර්භය තුළ දී, ගෝලීය දකුණේ සහයෝගීතාවයේ ශක්තිය මඟින් මෙහෙයවනු ලබන වැදගත් කාර්යභාරයක් එයට තිබේ.

    තාක්ෂණය, සම්පත් සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම, සංවර්ධනය සඳහා වන අපගේ සාමූහික මාවතට සහාය වීම සඳහා මූල්‍යාධාර සැපයීම මෙන්ම, තිරසාර සංවර්ධන අරමුණු  සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව සෞඛ්‍ය රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකා රජය විසින් කොවිඩ්-19 ව්‍යාප්තිය කළමනාකරණය කරගෙන තිබේ.

    2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සියල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාව තුළ දී ක්‍රියාවට නැංවීම පිළිබඳ  වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීම තුළින් පිළිබිඹු වේ.

    වර්තමාන සෞඛ්‍ය අර්බුදය තුළින් පැන නගින පෙර නොවූ විරූ ප්‍රතිවිපාක ආර්ථිකයන් වෙත පැතිරී තිබෙන බව, වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය පිළිබඳ අවදානම්  සහගත තත්ත්වයන් උග්‍ර කිරීම තුළින් ගෝලීය වශයෙන් පිළිබිඹු වේ. විශේෂයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතිරේක බරකට මුහුණ දී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට  තිරසාර සංවර්ධන උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීමට බාධාවක් වන බහුවිධ අභියෝග ජය ගැනීමට හැකි වන පරිදි, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව  යළිත් වරක් කියා සිටී. මෙම සන්දර්භය තුළ, ණය සහන සඳහා සහ කොවිඩ්-19 හි බලපෑම අවම කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  සංවර්ධන සහන පිළිබඳ සම්මේලනයේ දී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කළ ඉල්ලීම මට සිහිපත් වේ.

    UNCTAD හි හිටපු මහලේකම් ආචාර්ය ගාමිණී කොරෙයා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායම, දකුණු-දකුණු සහයෝගීතාවයට සහය ලබා ගැනීම සහ  දකුණු කොමිසම සහ දකුණු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහ.

    දරිද්‍රතාවය, සාමාජික රාජ්‍යයන්ගේ සංවර්ධනය සඳහා විශාල බාධාවක් ලෙස පවතින අතර, සියලු ආකාරවල දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන මෙම කණ්ඩායමේ කැපවීම සඳහා අප ද  කොටස්කරුවන් වන්නෙමු. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම භාරව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්ය සාධක බලකාය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන නිෂ්පාදන  ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුව ක්‍රියාත්මක වේ. රජය, මිලියන හයකට අධික පවුල් හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මූල්‍ය සහන ලබා දී ඇති අතර, කොවිඩ්-19  සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවා තිබේ. සැම දෙනාටම කොවිඩ්-19 සඳහා එන්නතක් ලබා දීම පිළිබඳ ප්‍රමුඛතාවය අපි අවධාරණය කරන්නෙමු.

    දේශගුණික විපර්යාස, හරිත ආර්ථිකය සඳහා මූල්‍ය තාක්ෂණය සැපයීම සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳ අපගේ සාමූහික ප්‍රයත්නයන් බලමුලු ගැන්වීම සඳහා අප සාමූහිකව ප්‍රයත්න දැරීම  අත්‍යවශ්‍ය වේ.

    මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී මෙම කණ්ඩායමට ලබා දෙන නායකත්වය පිළිබඳව ගයානා හි අතිගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි මැතිතුමා වෙත මාගේ දූත පිරිස සුබ  පැතුම් පිරිනමයි. අවසාන වශයෙන්, කණ්ඩායමේ අවශ්‍යතා සාමූහිකව පෙරට ගෙන යාමේ දී ජී -77 සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම මම යළි අවධාරණය කරමි."

     

    ආයුබෝවන්!

    ස්තුතියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya