මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දියවැඩියා දිනය අදයි- ලෝක දියවැඩියා දින පණිවිඩය

    නොවැම්බර් 14, 2020

     ලෝක දියවැඩියා දිනය අදයි- ලෝක දියවැඩියා දින පණිවිඩය

    මුළු ලොවම කොවිඩ්-19 වයිරසය පිළිබඳව අවධානය යොමුකර සිටියදී වුවද ලෝක දියවැඩියා දිනය යෙදෙන අද දිනයේ අප රටේ සියලු ජනතාව දියවැඩියාව රෝගය සම්බන්ධයෙන්ද දැනුවත් වීම අතිශය වැදගත් බව මම තරයේ විශ්වාස කරමි.

    2006 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මතවීමෙන් එතැන් පටන් සෑම වසරකම නොවැම්බර් 14 දා ලෝක දියවැඩියා දිනය ලෙස නම් වූ අතර, 1922 දී චාල්ස් බෙස්ට් සමඟ ඉන්සියුලින් සොයා ගත් ශ්‍රීමත් ෆෙඩ්‍රික් බැංටින්ගේ උපන් දිනය වන නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය සමරනු ලබයි.


    2020 ලෝක දියවැඩියා දිනය සඳහා තේමාව වී ඇත්තේ "හෙදිය සහ දියවැඩියාව" යන්නයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී හෙදියන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම මෙවර ලෝක දියවැඩියා දිනයේ මූලික අරමුණ වී තිබේ. ඒ සඳහා රටවල් 160 කට අධික සාමාජිකත්වයකින් යුතු අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය පෙරමුණ ගෙන ඇති අතර ඔවුන් දියවැඩියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක, ගෝලීය මට්ටමේ ඇති වැදගත්ම සංවිධානයයි.


    සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවල තිරසර සංවර්ධනයට සමගාමීව දියවැඩියාව වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට මෙම සංවිධානය ගන්නා උත්සාහයට ශ්‍රී ලංකාවේ සහය නිතැතින්ම හිමිවන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.


    පසුගිය දශකය තුළ දියවැඩියා රෝගය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වේගයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව තුළ ද දියවැඩියා තත්ත්වය දිනෙන් දින ඉහළ යන බවක් පෙන්වයි. වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන් සහ කුඩා දරුවන් පවා දියවැඩියාව රෝගයට ගොඳුරු වෙයි.


    එසේම කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සදහා මෙන්ම මෙවැනි බෝ නොවන රෝගවලින් ශ්‍රි ලාංකිකයින් මුදා ගැනීමට හෙද හෙදියන් දක්වන විශිෂ්ට කැපවීම අගය කරමි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් අභියෝග රැසකට මුහුණ දෙන අතර ඔවුන්ට උපකාර කිරීමට හෙදියන්ට කුසලතා ඇති කිරීම සහ උසස් අධ්‍යාපනයක් ලබා දීම රජය අදහස් කර ඇත.


    දැනටමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කරගැනීමටත්, දියවැඩියාව අවදානමේ පසුවන සියලු දෙනාට ඒ පිළිබදව සැලකිලිමත්වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත්වීම් උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya