අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් -19 මෙන්ම ඩෙංගු මදුරු මර්දනයටත් මෙහෙයුමක් දියත් කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 20, 2020

    කොවිඩ් -19 මෙන්ම ඩෙංගු මදුරු මර්දනයටත් මෙහෙයුමක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මදුරු මර්දන සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් (18)දින පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන විසින් කුරුවිට නගරය මුලික කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

    මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් -19 රෝගී තත්ත්වය පාලනය හා මැඩපැවැත්වීම සදහා රජය විසින් ගෙන යනු ලබන වැඩසටහනට මෙන්ම මිනිස් ජිවිත අහිමි කරමින් සමාජයට මහත් බලපෑමක් එල්ල කරනු ලබන ඩෙංගු මදුරු මර්දනය සදහා ද මෙහෙයුමක් දියත් කරන බවයි. කොවිඩ් හේතුවෙන් බිලිගත් ජිවිත ප්‍රමාණයට වඩා මෙරට ඩෙංගු රෝගය හේතුවෙන් ජිවිත අහිමි වී ඇති බව ද මෙම වසරේ ජිවිත 34 ක් ඩෙංගු රෝගය නිසා අහිමිව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි. අප අවට පරිශ්‍ර පිරිසිදු කර ගනිමින් ජනතාව ද ඩෙංගු මදුරු මර්දනය සදහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධාරණය කරන ලදි.

    2020 වසරේ දෙවන කාර්තුවේ මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 4311 වාර්තා වන අතර, වැඩිම ‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලිනි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 715 ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 668 ක් වාර්තා වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ද කුරුවි‌ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒ රෝගීන් 169 ක් වශයෙනි. එම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කුරුවිට කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු  මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබුනි. මේ වසරේ ගත වූ මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 27,870 ක් වාර්තා වී ඇති අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්  ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ද ක්‍රියාත්මක වේ.

    මෙම මදුරු මර්දන වැඩසටහන සදහා එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “මේ ජාතික ඩෙංගු මදුරු මර්දන සතියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය  විදිහට කොවිඩ් රෝගය පමණක් මූලික කරගෙන අපි කටයුතු කරන්නේ නැහැ. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් දියත් කිරීම වගේම ඩෙංගු වැනි අනෙකුත් රෝගී තත්ත්වයන් ද පාලනයට  හා මැඩපැවැත්වීමටත්, අනෙකුත් සියළු රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා. එම නිසයි ඩෙංගු මර්දන සතියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීන්දු කළේ.”

    “පසුගිය අවුරුදු 10 දෙස බැලීමේ දී ඉතාම අඩු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන වර්ෂය මෙම වර්ෂයයි. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,000 ක් පමණ වාර්තා වුනා. 2019 වසරේ ඩෙංගු  රෝගීන් 105,049 ක් වාර්තා වුනා. 2019 වසරේ ඩෙංගු හේතුවෙන් මරණ 158 ක් සිදු වුනා. මේ වසරේ ඩෙංගු හේතුවෙන් මරණ 34 ක් වාර්තා වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන්  සංඛ්‍යාව අතින් ලංකාවේ දෙවැනි තැනට ගිය අවුරුද්දේ පත් වුනාම මම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පුද්ගලිකවම ගොස් සෘජුව මැදිහත් වෙලා අවශ්‍ය කඩිනම් පියවර ගනු ලැබුවා. මෙහිදී  ප්‍රාදේශීය සභා පළාත් සභා නිලධාරීන්, දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශ, වෛද්‍ය, හෙද, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සහයෝගය,  කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම මේ අභියෝගය ජය ගැනීමට හේතු වූනා. ඒ හැම කෙනෙක්ගේම නායකත්වය අපට වැදගත්. ඒ සියළු දෙනා ප්‍රධාන වගකීමක් දරන පුද්ගලයින්. අපේ වගකීම්  අපි හරි ආකරව ඉටු කළ යුතුයි.”

    “ඩෙංගු මදුරු මර්දන කාර්ය සාධක බලකාය ද විශාල වැඩකොටසක් සිදු කළා. එම නිසා රජය විදිහට අපි ඩෙංගු කාර්ය සාධන බලකායේ ඉන්න අයගේ සේවය රාජ්‍ය සේවයට බඳවා ගැනීම සදහා
    කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ සේවය දිගු කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. අපි මේ සේවාවන් ඇගයිය යුතුයි. අද මෙරට සෞඛ්‍ය සේවය ලෝකයේ අන් රටවල් සමග
    බැලූ විට යම් ඉහළ මට්ටමක තිබෙනවා. එයට හේතුව අපේ මෙම කණ්ඩායම්වල කැපවීම හා මේ සදහා දක්වන උනන්දුව, නියෝග ක්‍රියාත්මක කිරීමයි”

    “අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඔවුන්ගේ ගැටළු, ප්‍රශ්ණ පිළිබද කථා කළා. එම ප්‍රශ්ණ නිරාකරණය කර දෙන්න කියලා මම නිලධාරීන්ට  උපදෙස් දුන්නා. අතිකාල දීමනා පිළිබද ගැටළුවක් තිබෙනවා. පළාත් සභාවල වැඩ කරන සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය අමතර දීමනා, අතිකාල දීමනා වැනි දේවල් පිළිබදව මම කැබිනට්  මණ්ඩලයට ඉදිරිපත් කර මධ්‍යම රජයෙන් පළාත් සභාවට මුදල් ලබාදීමට වහාම ක්‍රියාත්මක වෙනවා. අපි ඔබලා අධෛර්යට පත්වීම වැළැක්වීමට කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ති‌බෙන වෘත්තීය සමිති 50 කට අධික සංඛ්‍යාවක් මම වරින් වර කැඳවලා ඔවුන්ගේ ගැටළු විසදනවා. පහළ ශ්‍රේණිවල ගැටළු විසදන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ. ඒ සදහා අතිගරු  ජනධිපතිතුමා උපදෙස් අපට ලබාදීලා තිබෙනවා.”

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු සෞඛ්‍ය කණ්ඩායම් විසින් කුරුවිට නගරයේ ජනතාවට ඩෙංගු මදුරු මර්දනයට අදාල උපදෙස් පත්‍රිකා ලබාදෙමින් මහජනතාව දැනුවත්  කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.

    මෙම මදුරු මර්දන වැඩසටහන සදහා සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්නංගර මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා,  ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩ් මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම  මහත්මිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ශ්‍රීලාල් ලියනගේ මහතා, ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya