මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ආරක්ෂිතව පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද ඇරඹේ

    ඔක්තෝබර් 11, 2020

    රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් පහ ශ්‍රේණිය විභාගය අද (11) ආරම්භ වෙයි.

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. මේ අතර සිංහල මාධ්‍ය  අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

    විභාගය පැවැත්වෙන කාලසීමව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය.

    එක් විභාග මධ්‍යස්ථානයක සිසුන් 160ක් වන පරිදි පැවැත්වීමට නියමිත මෙවර විභාග සඳහා කොවිඩ් හේතුවෙන් දැනට නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත විශේෂ  විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු යොදා තිබේ.

    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අදාළ පොලිස්  බලප්‍රදේශය තුළ පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව මෙහි දී විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පැවසීය.

    ඒ අනුව, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙන්ම උසස් පෙළ විභාගය සඳහා ඒ අයුරින් පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධ තොරතුරු මේ සමඟ යොමු කර ඇත.

    සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි දී අදහස් පළ කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.බී.ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ  කළේ, නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ප්‍රදේශ තුළ සිටින සිසුන්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන්කිරීම සඳහා පහසු වන අයුරින් සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන් හෝ  භාරකරුවන්ට පමණක් අවසර ලැබෙන පරිදි විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය යොදවා තිබෙන බවය.

    එමෙන්ම අදාළ පොලිස් බල ප්‍රදේශ තුළ දරුවන් සහ දරුවන්ගේ දෙමව්පියන් ප්‍රවාහනයට පමණක් සීමාකරමින් විශේෂ බස්රථ පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇත.

    සියලු විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු සිදුකර ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව මුඛ ආවරණ පැළඳ විභාග ශාලා පරිශ්‍රයන් වෙත පැමිණීමට දෙමව්පියන්, සිසුන් සහ  සියලු කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.

    රට තුළ දැනට පවත්නා කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව අනතුරේ නොදමා ඔවුන්ට යහපත් මානසික තත්වයකින් විභාගයට මුහුණදීමට හැකි උපරිම  ඉඩප්‍රස්ථා සැලසීම සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya