අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා සිටින සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව අනිවාර්ය කෙරේ

    සැප්තැම්බර් 23, 2020

     

     

    දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා
    පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ.මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස්
    සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති
    ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
    කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක
    මාර්ගෝපදේශ රියදුරන් සූරාකෑම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවධානය යොමුව ඇතැයි
    බව පැවසූ ඇමතිවරයා ඒ හරහා සංචාරකයන්ට සිදුවන පීඩාවන් නැති කිරීමට කටයුතු කරන
    බවද කීවේය.
    කටුනායක ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ රියදුරන් සඳහා
    නිලහැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය . උත්සවය
    සංචාරක හෝටල් කලමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී (21) පැවැත්විණ.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    ගුවන්තොටුපලට පැමි‍ණෙන සංචාරකයන්ට ලංකාවට ආවම තමන්ගේ සංචාරය සඳහා වාහන
    කුලියට ලබාගන්නා කවුන්ටර් 06ක් තිබෙනවා.ඡන්දයක් ඉවර වුනාම ආණ්ඩුව ගන්නා උදවිය
    ගිහින් මේ කවුන්ටර් ගහලා ගන්නවා.ඊළඟ අවුරුදු 05 මේවා කරන්නේ ආණ්ඩුවේ බලය තියන
    උදවිය.ඊට පස්සේ එන ඡන්දයකදී අනිත් කණ්ඩායමට බලය ගියාම ඔවුන් කරන්නෙත්
    ඒකමයි.කටුනායක ගුවන්තොටුපල ඇතුලේ මේ වගේ තත්වයක් තමයි පහුගිය කාලේ
    තිබුණේ.මුලදී මේක මාෆියාවක්.පස්සේ මේක දේශපාලන අරගලයක්. සමහර කාල වල
    පාතාලයත් මේක මෙහෙය වූවා. මේකෙන් අසරණ වුණේ මේ රියදුරු මහත්වරු.ටෙන්ඩර් දාලා
    මේ කවුන්ටර් ගත්ත මහා පරිමාණ සමාගම් රියදුරන්ගෙන් කුලිය විදියට ලොකු ගාණක්
    ගත්තා.ලීසිං දාලා වාහන අරන් ට්‍රැවල් කවුන්ටරයක වාහන යොදවන රියදුරන් ණයකාරයෝ
    බවට පත්වුණා.මේ අය දුක්විඳලා හොයන ආදායම ගන්නේ වෙන අය.මේවා පිටුපස හිටපු
    සමහර දේශපාලනඥයන් ලක්ෂ ගාණක් මුදල් හම්බ කලා.තවදුරටත් ඊට ඉඩදෙන්නේ නෑ.
    මම විපක්ෂයේ සිටියදී මේ කණ්ඩායම මාව මුණගැහුණාම මම යෝජනා කලේ මේ
    වැඩපිළිවෙල කිසියම් ප්‍රමිතියකට ලක්කල යුතු බවයි.ඒ වගේම ගුවන්තොටුපල තුල තිබෙන
    මේ මාෆියාව නැති කරලා මෙම සේවාව විධිමත් කරන්න අපි සාකච්ජා කලා.ආණ්ඩුව අරගෙන
    ගුවන්තොටුපල භාර ඇමතිවරයා ලෙස මා පත් වුනාම මා මුලින්ම කලේ ඒ සඳහා මේ අයගෙන්ම
    අදහස් ලබාගැනීමයි.එහි ප්‍රතිඵලයක් ලෙසයි කටුනායක ගුවන්තොටුපලේ සිටින සංචාරක
    මාර්ගෝපදේශ රියදුරන් නියාමනය කිරීමේ මේ වැඩසටහන අපි අද ආරම්භ කලේ.මේ සංචාරක
    මාර්ගෝපදේශ රියදුරන් හඳුනාගැනීම සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ අනුව අද ලබාදෙනවා.ඒ
    අයට වෙනම නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා.ඒ වගේම සංචාරකයන් සමග කටයුතු කිරීම
    සඳහා අවශ්‍ය පුහුණුව අපි ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා.මේ හැම දෙයක්ම මේ
    ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේම යෝජනා.මේ මගීන්
    සංචාරකයන්ට විධිමත් හා ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න අපට හැකියාව ලැබෙනවා.ඒ
    වගේම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කල යුතුයි.කවුරුහරි බීමත්ව මේ සේවාවේ නියුතු
    වුවහොත් ඔහුව වහාම ඉවත් කරන්න ඕනෑ.ඒ එක්කම සංචාරකයෙකුට හිරිහැර වෙන විදියට
    කටයුතු කරලා පැමිණිල්ලක් ආවොත් එම වාහනය මෙම සේවාවෙන් ඉවත් කල යුතුයි.මෙම

    සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ විනයක් තිබිය යුතුයි. සංචාරක රියදුරන්ගේ සේවය
    ගෞරවනීය සේවාවක් බවට පත් කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා.
    ගුවන්තොටුපලේ දැනට තිබෙන ට්‍රැවල් කවුන්ටර් ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට විකල්ප
    වැඩපිළිවෙලක් හඳුන්වා දීම කෙරෙහි අපේ අවධානය යොමුව තිබෙනවා.දැනට මේ ට්‍රැවල්
    කවුන්ටර් වල සිටින සියළුම රියදුරන් සංවිධානය වී සිටින සංචාරක මාර්ගෝපදේශ රියදුන්ගේ
    සංගමයට මෙම සේවාව පවත්වාගෙන යාමට ඉඩ ලබාදී එය කිසියම් ප්‍රමිතිකරණයකට
    ලක්කල යුතුයි.සංචාරක කේෂ්ත්‍රයේ නිරත සියළුම රියදුරන් අපි ඉදිරියේදී සංචාරක
    සංවර්ධන අධිකාරිය තුල ලියාපදිංචි කිරීමට කටයුතු කරනවා.ඒ අයට නිසි පුහුණුවක්
    ලබාදෙනවා.දිවයින පුරා සිටින සංචාරක කුලී රථ රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව
    අනිවාර්යයි.
    ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා -
    මේ වෙලාවේ වැඩියෙන්ම අභියෝගයට ලක්ව තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය ගුවන්තොටුපල
    ගුවන් ගමන් සීමා වෙලා.මේ නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුම දෙනා දැඩි ආර්ථික
    පීඩනයකට ලක්වෙලා තිබෙනවා.ඒත් රටක් විදියට අපිට සතුටු වෙන්න පුළුවන්.ලෝක සෞඛ්‍ය
    සංවිධානය ඇතුළු සියළු සංවිධාන අපේ රටේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ප්‍රශංසාවට ලක්
    කරනවා.සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ වෙනකොට මේ නිසා සංචාරකයන්ගේ වැඩි
    අවධානයට මේ රට ලක්වෙන බව ස්ථිරයි.
    අපි ගුවන්තොටුපල වහලා නෑ.එය සීමා කලා පමණයි.හැබැයි අපි පූර්ණ අවධානය යොමු
    කලේ මේ කොරෝනා වලින් තොර හොඳ ගුවන්තොටුපලක් බවට අපේ ගුවන්තොටුල බවට පත්
    කරන්නේ කොහොමද කියන එකයි.අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා.
    අපේ ආණ්ඩුවේ අරමුණ ඕනෑම කේෂ්ත්‍රයක ප්‍රතිලාභ ඉහළ සිට පහළ සමාජිකයා දක්වා
    ගලායාමේ වැඩපිළිවෙලක් සැකසීමයි.ට්‍රැවල් කවුන්ටර් සම්බන්ධයෙන් ඇමතිතුමා කල
    යෝජනාව ඉතා කාලෝචිත යෝජනාවක් බව මගේ අදහසයි.එවිට මෙහි තිබූ වංචා දූෂණ
    අක්‍රමිකතා නැති කිරීමට අපිට හැකියාව ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

    සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ
    සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි, උපසභාපති රජීව් සූරියාරච්චි, ගුවන්තොටුපල
    සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ සභාපති අසංක ගොඩකුඹුර යන මහත්වරුන්ද
    මෙහිදී කථා කලහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya