අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරේ

    සැප්තැම්බර් 22, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධාරණය කරන පරිදි සංවර්ධනයේ ඉහළ ම හිණිපෙත්තට ළගාවිය හැකි නූතන තාක්ෂණික දැනුම සහ භාවිතය නොපමාව අත්පත්කරගත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රමුඛ පීඨාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සමග පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

    2020 වර්ෂය සදහා විශ්වවිද්‍යාල හයක ඉංජිනේරු පීඨ වෙත වෙනත් වර්ෂවල ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවට වඩා අමතර සිසුන් 405ක් සහ වෛද්‍ය පීඨ වෙත අමතර සිසුන් 360ක් ඇතුළත්කිරීමට අදාළ ව භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරිණි.

    විශ්වවිද්‍යාලවලින් බිහිවන විශිෂ්ට කෘති පාසල් දරුවන්ගේ පරිශීලනයට යොදාගැනීම සදහා වැඩපිළිවෙළක් ඉදිරියේ දී සැලසුම් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. තව ද විශ්වවිද්‍යාල තුළ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා උපදේශකවරුන් පත්කිරීමට හා ඒ සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව සකස් කිරීමට ද පියවර ගැනීමට යෝජනා විය.

    දැනට පේරාදෙනිය විශ්විද්‍යාලය තුළ පමණක් පවත්නා දන්ත සහ පශු වෛද්‍ය රෝහල් නඟාසිටුවීම වෙනුවෙන් මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට විශේෂ ප්‍රතිපාදන ලබාදීමට වැඩපිළිවෙළක් යෙදීමට ද මෙහි දී එකඟත්වය පළ කෙරිණි.

    එමෙන් ම අධ්‍යයන හා පරිපාලන කටයුතුවල දී පීඨාධිපතිවරුන්ට පවත්නා ගැටළු හා අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒවාට අදාළව ලබාදිය හැකි දීර්ඝකාලීන හා කෙටිකාලීන විසදුම් ද මෙහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

    බාහිර උපාධි පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාවට නංවන ආකාරය සහ ඒවායේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

    පීඨාධිපතිවරුන්, උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවර සාකච්ඡා කිරීම වෙනුවෙන් පවත්වන වැඩසටහන් මාලාවේ දිගුවක් ලෙස මෙම සාකච්ඡාව ද පැවැත්විණි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, යන මහත්වරුන් මෙන් ම එම විශ්වවිද්‍යාලයේ සියලු පීඨාධිපතිවරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya