මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනයයි- ජනපති අවධාරණය කරයි

    සැප්තැම්බර් 21, 2020

    Ø පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය විශේෂයි ...

    Ø සෑම පාසලකටම නිලධාරීන්ගේ සමාන පෞද්ගලික අවධානය ....

    Ø සියලු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කඩිනමින් ...

    Ø මුදල් අය නොකරන පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක් ...

    Ø ආබාධ සහිත දරුවන් උදෙසා වෙනම වැඩපිළිවෙළක් ...

    Ø කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව පාර්ලිමේන්තුවට ...

     අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි.

    කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ නොතිබිණ. එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා කීය.

    “නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්. පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කළා. දිවයිනේ සියලු පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රධානතම වගකීමක්” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටළු හඳුනාගෙන විසඳුම් දිය යුතුය. ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටළුවලට විසඳුම් දීමේ ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    සිය වෘත්තියට අදාළ විවිධ අවශ්‍යතා සඳහා කලාප කාර්යාල වෙත යන ගුරුවරුන්ට විඳීමට සිදුවන ගැහැට පිළිබඳව කණගාටුව පළ කළ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට සහය විය යුතු බව පැවසීය.

    සියලු පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක අවශ්‍යතා කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    ආබාධ සහිත දරුවන් සමාජගත කිරීමට ඉවහල් වනු අයුරින් ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය පිණිස විශේෂ අධ්‍යාපන ඒකක දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ. එවැනි දරුවන් සිටින පවුල් පත්ව සිටින මානසික සහ ආර්ථික කඩාවැටීමෙන් ඔවුන් මුදා ගැනීමට මූල්‍යමය දායකත්වය දිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

     පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස කාන්තාව පිළිබඳ ජාතික කමිටුවක අවශ්‍යතාව සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම අද රැස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

    අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය පිළිබඳවත් අවධානය යාමු විය.

    පංති කාමරයෙන් පිටව යන දරුවා තම පුටුව සහ මේසය නිසි අයුරින් තබා යාමට පුරුදු කිරීමේ සිට රටට, සමාජයට ආදරය කරන ආකල්පමය වෙනසක් සහිත පුරවැසියෙකු බවට පත් කෙරෙන අධ්‍යාපනයක් සකසන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya