ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    “කර්මාන්තකරුවාට - ව්‍යවසායකයාට ඉදිරියට යන්න නම් මෙරට බැංකුවල ප්‍රතිපත්ති,ආකල්ප වෙනස් විය යුතුයි” - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

    සැප්තැම්බර් 19, 2020

    කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට ශක්තිමත්ව නැගී සිටීමට නම් මෙරට බැංකුවල ප්‍රතිපත්ති - ආකල්ප වෙනස් විය යුතු බවත් ඒවා සැබෑ ලෙසම සිය සේවාදායකයාට සුහද හදකින් යුතුව සේවය සැලසිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ දෙවැනි මහා සම්මේලනයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

    “සිටුවර ජයබල සහයෝගිතා සංවිධානයේ දෙවන ජාතික මහා සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට හැකියාව ලැබීම පිළිබඳ ප්‍රථමයෙන් සතුටට පත්වෙනවා. අපේ සමාජයේ කාලයක පටන් ඇතැම් කොටස්වල මුල් බැසගත්තු අදහසක් තියෙනවා ‘කවුරු රට පාලනය කරත් අපි හම්බකරගෙනයි අපි කන්නේ’ කියලා. පසුගිය කාලයේ ඒ මූලධර්මය මත පිහිටා ජීවත් වුණු උදවියට තේරුම් ගියා එය එහෙම නොවෙයි කියලා. අපි හම්බකරගෙන, අපි ජීවත් වෙන්න සුදුසු වාතාවරණය හදන වගකීම තියෙන්නෙ අපි කලින් කලට බලයට පත්කරන පාලන තන්ත්‍රවලට. රටේ ආරක්ෂාව සුරක්ෂිත තත්ත්වයකට රැගෙන එන්න ඒ පාලන තන්ත්‍රවලට බැරි නම්, මුල්‍ය ක්ෂේත්‍රයේ හිතකර වාතාවරණයක් ගොඩනගන්න, සමාජයේ ආර්ථික ක්‍රියාවලියට බාධාකාරීව බලපාන සාධක ඉවත් කරන්න, රටේ පාලන තන්ත්‍රයට බැරි නම් ‘අපි හම්බකරගෙන අපි කනවා’ කියන එක පහසු කාර්යයක් වෙන්නේ නැහැ.

    සහරාන්ලා මරාගෙන මැරෙනකල් නිසොල්මනේ බලාගෙන හිටපු පාලන තන්ත්‍රයක් යටතේ, මහ බැංකුවේ මුදල් මහ දවල් හොරකම් කරලා කෘත්‍රිමව බැංකු පොලී අනුපාතය ඉහළ යන්න කටයුතු සලස්වපු පාලන තන්ත්‍රයක් යටතේ, රටේ අරාජිකත්වයට මඟ පාදපු පාලන තන්ත්‍රයක් යටතේ ව්‍යාපාරවලට හිතකර වාතාවරණයක් නිර්මාණය වෙන්න විදියක් නැහැ.

    ‘ව්‍යවසායකයන් වෙනුවෙන් පියවර රැසක්’

    මෙහි සිටින ව්‍යාපාරික ප්‍රජාවේ මතු වී තිබෙන ගැටලු ඒ ඒ යුගවල රට පාලනය කරපු පාලන තන්ත්‍රයන් ගත් තීන්දු තීරණ අනුව ඇති වූ ඒවායි. කොවිඞ් වසංගතය හමුවේ ඉන්දියාව වසංගත තත්ත්වයෙන් අසරණ වෙලා තියෙන අයුරු දුුටුවාම ඇමරිකා එක්සත් ජනපදය පත්වෙලා තිබෙන අර්බුදය දුටුවාම, ලෝකයේ බොහෝ රටවල් අසරණව සිටින ආකාරය දිහා බැලුවාම කොවිඞ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අපි, සැලකිය යුතු දුරකට මිදෙන්න වාසනාවන්ත වෙලා තියෙනවා. වසංගත තත්ත්වයක් පාලනය කරගන්න පුළුවන් නායකත්වයක් යටතේ මේ රට පවත්වාගෙන යන්න හැකිවීම ඊට හේතුව වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩු සමයේ මෙම කොවිඞ් වසංගතය පැමිණියා නම් අපිට මුහුණ දෙන්න වෙන්නේ හිතකර වාතාවරණයකට නොවෙයි. මේ හැම දෙයකින්ම අවධාරණය කරන්නේ, ‘රටක ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවල සාර්ථකත්වය, ප්‍රගමනය තීරණය වෙන්නේ රාජ්‍ය පාලනයේ ස්වභාවයට සාපේක්ෂව මිසක් ඊට පටහැනිව නොවෙයි’ කියලයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ රටේ ඇතිවුණු වාතාවරණයත් සමගම ඇතැම් බදු ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර කරගෙන යාමට බැරි වාතාවරණයකට ලක්වුණා. 2019 නොවැම්බර 16 වැනිදායින් පසුව ව්‍යාපාරිකයා යන්තම් හිස ඔසවාගෙන එනකොට කොවිඞ් වසංගතයට ගොදුරු වෙලා ව්‍යාපාර යළි අඩාල වුණා. නමුත් කොවිඞ් 19 වසංගතය මෙතරම් ඉක්මනින් පාලනය කරේ නැත්නම්, අපි පත්වෙලා තියෙන අසීරුතා සාකච්ඡා කිරීමට රැස් වීමට පවා හැකියාව ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් මේ රජය මහජනතාව සමග ගනුදෙනු කරන මුල්‍ය ආයතන කැඳවමින්, උපදෙස් දෙමින් හැකිතාක් දුරට මේ රටේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පියවර රැසක් මේ වන විට අරගෙන තියෙනවා.

    ‘සුහද හදක් තියෙනවාද?’

    බැංකු පොලී අනුපාතය අපි තනි ඉලක්කමකට අරගෙන තියෙනවා. එය තවදුරටත් පහළ අගයකට ගෙන ඒමට රජය කටයුතු කරන බව මේ අවස්ථාවේ දී කියන්න කැමතියි. (අත්පොළසන්). අපේ රටේ බැංකු සාමාන්‍යයෙන් කර්මාන්තවලට ණය දෙන්න තියෙන උනන්දුව අඩුයි. යම්කිසි ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ දැක්කාම බැංකු ගෙදරටම ඇවිත් ණය දෙන්න යනවා. සමහරවිට ඒ ව්‍යාපාරිකයා ඒ ණය ගන්නෙ ව්‍යාපාරය සඳහාම නොවෙයි. ගෙදරටම ඇවිත් හාදු දිදී ණය දෙන බැංකු තමන්ගේ සේවාදායකයා තරමක් අසීරුතාවකට පත් වුණාම තිබුණු හිතෛෂී මැදිහත්වීම තවදුරටත් පවත්වන්නේ නැහැ. ඊට පස්සේ මේ සේවාදායකයා ත්‍රස්තවාදියෙක් විදියට පෙනෙන්න ගන්නවා.

    මම හොයලා බැලුවා, මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ බිලියන තුනකට වඩා ශුද්ධ ලාබ ලබපු බැංකු තුනක් තිබුණා. වෙනත් බැංකු බිලියන තුනක ලාබයක් නැති වුණාට දෙකක් හෝ එකයි දශම ගණනකට ලාබ ලබලා, තිබුණා. බැංකු ලාබ ලබලා, බැංකුවල රැකියා කරන අයට හොඳ ජීවන පැවැත්මක් හිමි කර දී තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රබලතම සාධකය වුණු සේවාදායකයා දවසින් දවස අසරණ වෙනකොට සුහද හදක් ගැන කියන බැංකුවල ඒ හදවත සුහද වෙන්නේ නැහැ.

    පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ ‘හෙන්චයියලාට’ කෝටි ගණනක ණය දුන්නෙ කිසිම ඇප කොන්දේසියක් නැතිව. සාමාන්‍ය මනුස්සයෙක් රුපියල් ලක්ෂයක ණයක් ගන්න ගියත් රජයේ සේවකයන්ගේ ඇප ඉල්ලනවා. අපේ රටේ බැංකු පවතින්නේ බැංකුවේ පැවැත්ම සඳහා මිසක් සේවාදායකයන් වෙනුවෙන් නොවෙයි. මම එක්තරා සජීවී වැඩසටහනකදී මේ බැංකු ලබන අසීමිත ලාබය ගැන වගේම ඒ මගින් සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණය ගැන කිව්වා. පසුගිය දවසේ ඒ නාලිකාවේ පළවුණ වැඩසටහනේ මගේ කතාව බලන්න මට උවමනා වුණා, ඒ නාලිකාවට අයත් යූටියුබ් නාලිකාවෙන් නැවත වරක් බලන්න යද්දි ඒ බැංකු ගැන කියපු කොටස අතුරුදහන් වෙලා තිබුණා. පසුව එම නාලිකාවට දැනුම් දුන්නාම කිව්වෙ ‘දැන්වීම් දෙන එක නවත්වනවා කියලා බැංකු කියලා තිබුණ නිසා එය ඉවත් කළා’ කියලයි. මම කියපු දෙය ඇත්ත නිසා තමයි බැංකු බය වෙලා තියෙන්නෙ. තමන්ට තියෙන කේවල් කිරීමේ බලය යොදවලා ‘දැන්වීම් දෙන්නෙ නැහැ’ කියන තර්ජනයට ඒ නාලිකාව යටත් කරලා ඒ කොටස යූටියුබ් නාලිකාවෙන් අයින් කරවලා තියෙනවා.

    ‘කර්මාන්ත දියුණු වීමට, ප්‍රධාන සාධක දෙකක් වෙනස් විය යුතුයි’

    අපේ රටේ ආර්ථිකය හා කර්මාන්ත දියුණු වෙන්න නම් අපේ රටේ ප්‍රධාන සාධක දෙකක් වෙනස් වෙන්න වෙනවා. එකක් අපේ රටේ බැංකු. අනික අපේ රටේ බලශක්තිය. අධික මිලක් ගෙවලා, විදුලි බලය අරගෙන කර්මාන්ත කරන්න පුළුවන් රටක් මම දැකලා නැහැ. ඒ වගේම අද පවතින බැංකුවල ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්ති තියන කිසිම රටක ව්‍යවසායකයන් හෝ කර්මාන්ත පණ ගැන්විලා නැහැ. ව්‍යවසායකයා මාසයක් පුරා මහන්සි වෙලා බැංකුව නඩත්තු කරනවා. එහෙම නඩත්තු කරත් අවසානයේ තමන්ව නඩත්තු කරන සේවාදායකයා ගැන සැලකිලිමත් වෙන්නෙ ඉතාම අඩුවෙන්. මේ බැංකුවල ස්වභාවය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයි.

    අපේ රටේ මහ බැංකුවත් මුල්‍ය ප්‍රතිපත්ති ගොඩක් හදාගෙන තියෙන්නේ බැංකුකරුවන්ගේ යහපත උදෙසා මිසක් බැංකුවට එන සේවාදායකයන්ගේ යහපත සඳහා නොවෙයි. අපේ රට ඉදිරියට යන්න අසීරු කරවන මෙවැනි බාධා ඉවත් කරගත යුතු වෙනවා. මේ අනුව, ‘අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක වෙනස් සිදු කිරීම සඳහා අපි රජයක් හැටියට උපරිම වශයෙන් කටයුතු කරනවා,’ කියන ස්ථාවරයක මම වගේම අතිගරු ජනාධිපතිතුමනුත් ඉන්නවා, කියන කාරණය කිව යුතුයි. මේ රටේ ව්‍යවසායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුදුසු වාතාවරණය නිර්මාණය කර දීම වෙනුවෙන් අපට හැකි සෑම ප්‍රයත්නයක්ම දරන බව නැවතත් ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා”

    ‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ ක්‍රියාකාරී සාමාජිකයන් උදෙසා ඇගයීම් සම්මාන පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර ‘2020 ව්‍යාපාර යාවත්කාලීන කිරීමේ සිටුවර ජයබල යෝජනාවලිය‘ ඇතුළත් සමරු කලාපයේ මුල් පිටපත අමාත්‍යවරයාට පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.

    මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතාගේ දේශනයකින් සහ ‘ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාව‘ යන තේමාව සහිත සංවාදයකින් මෙම ජාතික මහා සම්මේලනය සමන්විත විය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya