අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම්

    සැප්තැම්බර් 16, 2020

    රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම් (පැවිදි පත්වීම් 137ක්, ගිහි පත්වීම් 123ක් සහ සීල මාතා පත්වීම් 3ක් මීට ඇතුළත් ය.) ලබාදීම වෙනුවෙන් (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිට ම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන් වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන් ම අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් සෑම සමාජ පාර්ශවයක ම අදහස්, සහ යෝජනා ලබාගන්නා අතර, විශේෂයෙන් ම ආගමික සංස්ථාවේ සහාය ඒ සඳහා ඉතා වටිනා බවයි.

    නීති දැඩි කිරීමෙන් පමණක් රටක් යහපත් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි බව ද, දිනපතා මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන මත්ද්‍රව්‍ය භාවිතය, ගිනි අවි භාවිතය, පාතාල ක්‍රියාවන් ඇතුළු විවිධ නීතිවිරෝධී සහ සාපරාධී කටයුතුවලට නීතිමය පියවර කෙතෙක් ගත්ත ද, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගොඩනැංවීම ඉතා වැදගත් වන බව ද, එය පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අධ්‍යාපන පද්ධතිය තුළට ප්‍රවේශ කළ යුත්තක් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    පසුගිය වකවානුව තුළ ගමයි - පන්සලයි අතර සම්බන්ධය තරමක් දියාරු ස්වරූපයකින් පැවති බවත්, ඇතැම් පාර්ශව විසින් චේතනාන්විත ව ම එම තත්ත්වය ඇති කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, හැඟීම් නැති රොබෝවරුන් අධ්‍යාපනයෙන් බිහිකරනු වෙනුවට සමාජයට, සංස්කෘතියට ආදරය කරන මිනිසුන් තනන්නට බුදුදහම ප්‍රමුඛ කොටගත් ආගම් තුළින් විශාල පිටුබලයක් ලබාදිය යුතු බවද පැවසීය. අද දින පත්වීම් ලැබූ නවක පරිවේණාචාර්යවරුන්ට එම පිටුබලය මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත ලබාදීමට ශක්තිය සහ හැකියාව ලැබේවායි අමාත්‍යවරයා සුබාශිංසන එක් කළේය.

    මෙම අවස්ථාවට කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්, ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය ලේකම් එස් එච් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya