අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන්- ජනපති නිලධාරීන්ට පෙන්වා දෙයි  

    සැප්තැම්බර් 15, 2020

    පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

    රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    රජය මැදිහත්වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය.

    විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya