අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටුම නිරාකරණය වන පරිදි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    ජූනි 26, 2020

    බරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි.


    ඊයේ ( 25) පෙරවරුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ දැනට ආරම්භකර ඇති ව්‍යාපෘති සහ ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානය වන විට වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි.

    මේ හේතුවෙන් අලි-මිනිස් ගැටුම උග්‍ර අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති අතර, ඉදිරියට සැලසුම් කරනු ලබන ව්‍යාපෘති අලි-මිනිස් ගැටුමට මගපාදන ආකාරයට සැලසුම් නොකිරීමට වගාබලාගන්නා ලෙස ද අග්‍රමාත්‍යවරයා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.


    මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහි දී විශේෂ සමාලෝචනයකට ලක්කෙරුණ අතර ඒ යටතේ වාරිමාර්ග යෝජනා ක්‍රම, පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ව්‍යාපෘති සකස් කිරීම, කෘෂිකර්මාන්තයට ජලය සැපයීම, කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් නිදහස් කිරීම, ජල විදුලිය නිෂ්පාදනය, විදුලිය නිෂ්පාදනය කරන සූර්ය කෝෂ ස්ථාපිත කිරීම, වැව් ප්‍රතිසංස්කරණය, ගංවතුර පාලනය, ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

    මෙහිදී අග්‍රමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබූයේ ඉතා අඩු වියදමකින් වැඩි පිරිසකට ඵලදායීතාව ලබා ගත හැකි ව්‍යාපෘති කඩිනම් කොට ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පැවරීමට පියවර ගන්නා ලෙසයි.

    මීට අමතරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පසුගිය රජය යටතේ වසර 5ක් පුරා ක්‍රියාත්මක වූ අක්‍රමවත් ක්‍රමවේදය වෙනුවට ක්‍රමවත් මුදල් පාලනයක් සහිතව ඉදිරි වසර දෙක ඇතුළත ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන්නැයි ද අග්‍රමාත්‍යවරයා තවදුරටත් උපදෙස් දෙනු ලැබීය.

    මහ මැතිවරණයෙන් අනතුරුව ඉදිරි අයවැයක දී මෙම නව ව්‍යාපෘති සහ යෝජිත ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක් සේ සළකන බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් අග්‍රමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

    මෙම අවස්ථාවට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා (විශ්‍රාමික) ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya