අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොන්නාව ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    ජූනි 25, 2020

    නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය එක්ව මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 25) පෙරවරුවේ එම ව්‍යාපෘතීන් සිදුකෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් නාගලගම් වීදියේ ඉදිකෙරෙන ජල පොම්පාගාරය නිරික්ෂණය කළ අතර අනතුරුව ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් එහි ව්‍යාපෘති භාර ඉංජිනේරු ඒ.එච්.තුෂාරි මහත්මිය විසින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කළාය.

    ඉංජිනේරුවරිය සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතියට අදාළව වැහි වතුර රඳවා තබාගැනීම සඳහා තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බවයි.

    පොම්පාගාරය නිර්මාණය කරන විට ජලයේ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අවස්ථාවේදි එම ඇළ මාර්ගවලට කැළිකසල එකතු කිරීම හේතුවෙන් ජලය අපවිත්‍ර වී ඇති බව සනාත වූ බවද එහිදී ඒ.එච්.තුෂාරි මහත්මිය විසින් පැහැදිලි කළාය.

    එම යෝජනාවලියේ තවත් අදියරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන කොළොන්නාව ඇළ මාර්ගය කැලණි ගඟට වැටෙන ස්ථානය වන කළු පාලම අසළ සංවර්ධන කටයුතු ද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    කොලොන්නාව ඇළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කළමනාකරු සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති අංශය) ආර්.එම්.ඩී රත්නායක මහතා මෙම ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු පැහැදිළි කිරීමක් කළේය.

    කොළොන්නාව ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1400ක් වන අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතිය මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි සංවර්ධන කටයුතු යම් පමණකින් ප්‍රමාදවීමකට ලක් වී ඇත. මේ වන විට එම ව්‍යාපෘතියේ 72%ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර මෙම වර්ෂය අවසන් වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

    ඒ අනුව අඹතලේ සේදවත්ත පාලම මෙම ඇළ මාර්ගයේ වතුර බැස යාමට බාධාවක් බව හඳුනාගෙන ඇති අතර, කොලොන්නාව ඇල මාර්ගයේ ධාරිතාව කිලෝමීටර් 4ක් දක්වා දුරට පුළුල් කිරීම මෙහිදී සිදුවෙයි. වැසි ජලයෙන් සහ කැලණි ගඟේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට වර්ෂාව ලැබීම නිසා කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට ඇතිවන ආපදා තත්ත්වයන් අවම කිරීම කොළොන්නාව ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ වන අතර RDC (Resource Development Cooperation) ආයතනය මෙම ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස ක්‍රියාත්මක වෙයි.

    ඉන් අනතරුව වැල්ලම්පිටිය පාලම,තුප්පාවිල ඇළ මාර්ගය,සැළලිහිනි මාවත අසල ඇළ මාර්ගය යන ස්ථානද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    එහිදි සැළලිහිනි මාවත අසල ඇළ මාර්ගය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා ඇළ දෙපස සංවර්ධනය කොට ජනතාව සඳහා ඇවිදින මංතීරුවක් සකස් කරන ලෙසත් එම ප්‍ර දේශයේ පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම්වල ගස් සිටුවා ප්‍ර දේශයේ දරුවන්ට එම ගස් නඩත්තු කිරීමේ කටයුතු භාරදෙන ලෙපසත් අග්‍රාමාත්‍යවරයා පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.‍

    මෙම අවස්ථාව සදහා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් එම්.ආර්. ද සොයිසා මහතා, පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ශ්‍රීමති සේනාධීර මහත්මිය, ව්‍යාපෘති භාර ඉංජිනේරු අමිල පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya