අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවේ- කොවිඩ් 19 නිසා පාඩු ලබන පුද්ගලික බස් රථ කර්මාන්තයට රජයෙන් සහන රැසක්

    ජූනි 24, 2020

    කොවිඩ් 19 නිසා පාඩු ලබන පුද්ගලික බස් රථ කර්මාන්තයට රජයෙන් සහන රැසක් - බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකියි - අමාත්‍ය මහින්ද අමරවීර මහතා පුද්ගලික බස් රථ අයිතිකරුවන් සමග එකගතාවක්.

    කොවිඩ් 19 නිසා ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ මෙන්ම මේ වනවිටත්
    මහජනතාව සැළකිය යුතු අන්දමින් පොදු ප්‍රවාහනය භාවිතා නොකිරීම හා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම නිසා විදිමත් පරිදි ආදායමක් තමන්ට නොලැබෙන බව පුද්ගලික බස් රථ අයිතිකරුවන් ගේ සංගම් රැසක් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට පැමිණිලි කර තිබේ.

    මේ සම්බන්ධව අද දින (23) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැති අතර වසර දෙකකින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බැවින් බස් ගාස්තු සංශෝධනයක් තමන්ට ලබා දෙන ලෙස එම පිරිස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    එහෙත් මෙම අවස්ථාවේ රටේ සෑම අංශයක්ම කොවිඩ් 19 නිසා ආදායම් අහිමිවීමේ තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් බස් ගාස්තු සංශෝධනයක් කිරීම උචිත නොවන බවත්, ඒ සඳහා තමන් හෝ රජය කටයුතු නොකරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    එසේ වුවද පුද්ගලික බස් රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය මගින් ලබා දිය හැකි සහන ලබා දීමට කටයුතු කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මේ වනවිටත් පියවර රැසක් ගෙන තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල ලීසිං හා රක්ෂණ වාරික සඳහා සහන කාලයක් ලබා දීමට අදාලව ජනාධිපති ලේකම් විසින් මහබැංකුවට ලිපියක් යොමු කර තිබේ. ඒ් අනුව එම සහන ලබා දෙන ලෙස සියලුම රක්ෂණ ආයතන වෙත මේවනවිටත් දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මීට අමතරව වාහනවල රක්ෂණ සහතිකය හා රියදුරු බලපත්‍ර සම්බන්ධව ද සහන කාලයක් ලබා දී තිබෙන අතර පුද්ගලික බස් රථ එම කාල සීමාව තුළ අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර නොගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් යොමු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    එමෙන්ම, දැනට නීතිවිරෝධීව කාර්යාල සේවා යැයි කියමින් ධාවනය කරන පුද්ගලික බස් රථ අත් අඩංගුවට ගැනීමටත්, පුද්ගලික බස් රථ සඳහා රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දීමටත්, සියයට 04 සහන පොලියක් යටතේ අලුත් බස් රථ මිල දී ගැනීමට සහණ ණය මුදලක් ලබා දීම, වශයෙන් පුද්ගලික බස් රථ සඳහා සහණ රැසක් ලබා දීමට රජය කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහෙත් දැනට පවතින තත්ත්වය අනුව කිසිසේත්ම බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවත්, තවත් සහන අවශ්‍ය නම් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
    කෙසේවුවද මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බව තමන් ද පිළිගන්නා බව පුද්ගලික බස් රථ අයිතිකරුවෝ අමාත්‍යවරයාට දැනුම් දුන් අතර රජය විසින් සහන ලබා දීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya