අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල්, එලවළු හා පළතුරු ප්‍රවාහණය සඳහා දුම්රිය යොදා ගැනීමට පියවර

    මැයි 30, 2020

    දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එලවලු හා පළතුරු ඇතුලු භෝගවර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබුනි.

    දැනට එලවලු හා පලතුරු ප්‍රවාහනයේ දී විශාල නාස්තියක් සිදුවන අතරම, විශාල පිරිවැයක් ද දැරීමට ව්‍යාපාරිකයින්ට සිදුව තිබේ. එම තත්ත්වය පාලනය කර ගනිමින් දුම්රිය මගින් එක්වර විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහණය කිරීමට හැකිවීම මෙන්ම පසු අස්වනු නාස්තිය ද අවම කර ගැනීමට හැකිවන බව පෙනී ගොස් තිබේ.

     

    ඒ අනුව යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, පුත්තලම, නුවරඑළිය, බෙලිඅත්ත වැනි ප්‍රදේශවල සිට එම නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහණය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

     

    එමෙන්ම එක්වර බහලුම් 20ක් Containers දුම්රිය මගින් ප්‍රවාහනය කළ හැකි පරිදි දුම්රිය තට්ටු ඇනියක් ද සකස් කර ඇති අතර කොළඹ සිට සෙසු ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයේ දී මෙම බහළුම් ප්‍රවාහණය සඳහා දුම්රිය යොදා ගැනීමට ද අපේක්ෂිතය.


    භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අදාල ව්‍යාපාරික ප්‍රජාව සමග ලබන සතියේ සාකච්ඡා කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ භාණ්ඩ ප්‍රවාහන වාහන දිනපතා විශාල ප්‍රමාණයක් මාර්ගවල ධාවනය වන බැවින් එමනිසා ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනීමටත්, දෛනික සිදුවන ඉන්ධන හා කාලය නාස්තිය ද අවම කර ගැනීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    විශේෂයෙන් කොළඹ , මහනුවර වැනි ප්‍රදේශවල දිනපතා පවතින අධික වාහන තදබදයට හේතුවන්නේ අඩි 20 හා අඩි 40 බහළුම් සහිත වාහන මහාමාර්ගවල ධාවනය කිරීමයි. එමගින් ඇතිවන තදබදය නිසා රටට එක් දිනක් තුළ රුපියල් බිලියනයක පමණ පාඩුවක් සිදුවන බව අමාතයවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම නාස්තිය වළක්වා ගැනීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා හැකි තරම් දුම්රිය යොදාවා ගැනීමට අදාල ව්‍යාපාරිකයින් පොළඹවා ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය. පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ද භාණ්ඩ ප්‍රවාහන සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දි තිබේ.

    දින (28) ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya