මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඉගෙනුම් හා ඉගැන්වීමේ මාර්ගගත ක්‍රමය එළිදැක්වෙයි - මෙරට පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි

    මැයි 21, 2020

    ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව, එකම ආණ්ඩුවේ ඇමතිවරයාගෙන් ඇමතිවරයාට පවා වෙනස් කළ හැකි ප්‍රතිපත්ති වෙනුවට, ආයතන ස්ථාවරව පවත්වා ගත හැක්කේ ජාතික  ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් බවත්, මෙරට පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මකව පවතින පිරිවෙන් 829 ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු මාර්ගගත (online) ක්‍රමයට ක්‍රියාවට නැංවීම සඳහා Microsoft 365 පද්ධතිය  සම්බන්ධ කරගනිමින් සකස් කරන ලද අන්තර්ජාල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ(20) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  පැවැත්වුණු අතර, එහිදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

     

    ලොව පුරා ට්‍රිලියනයකට අධික වෙබ් අඩවි මේ වන විට ක්‍රියාත්මකව පවතින බවත්, ඒ අතරින් මිලියන 206ක් බුදු දහම ආශ්‍රිතව ගොඩනැගී ඇති බවත්, අප නොදන්නා බොහෝ රටවල අප  නොහඳුනන බොහෝ මිනිසුන් මෙම වෙබ් අඩවි ඇසුරෙන් බුදුදහම අවබෝධ කරගැනීමට උත්සුක වෙමින් සිටින බවත්, බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනයට ලබාදියයුතු  කාලීන දායකත්වය පිළිබඳ සිතා බලන විට එය ඉතා යහපත් සංඥාර්ථයක් බවත් වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    පිරිවෙන් අධ්‍යාපනය අන්තර්ජාලය හරහා අනාගතයට රැගෙන යාම තුළ දැනට පිරිවෙන් පද්ධතියේ නොසිටින, ජාතික තලයේ සිටින ප්‍රබුද්ධ ගුරුවරුන්ගේ දායකත්වයද පිරිවෙන් සිසුන් වෙත
    ලබාදීමට ඉඩප්‍රස්ථා සැලසෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙම හඳුන්වාදීම පිරිවෙන් අධ්‍යාපනය නව දිශානතියකට යොමු කරවන බවත් පෙන්වා දුන්නේය.

     

    පිරිවෙනක් ආරම්භ කිරීම, පරිවෙණාචාර්ය පත්වීමක් ලබා දීම, වැනි කාර්යයන් ඉතා සියුම්ව, සුපරික්ෂාකාරීව සිදුකළ යුතුව පවතින බවත්, ප්‍රාථමික ගෝත්‍රික දේශපාලන අදහස් වලින් බැහැරව  එවැනි තීන්දු තීරණ ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම ලොව සෑම පුරවැසියෙකුටම වර්තමානය වන විට නූතන තාක්ෂණය සමග සම්බන්ධ වීමට සිදුව ඇති බවත්,  අභිමානවත් ඉතිහාසයක්, සංස්කෘතියක් සමග අවිච්ඡින්නව ගොඩනැගී ඇති මෙරට පිරිවෙන් අධ්‍යාපනය අනාගතය වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා තාක්ෂණයේ නූතන උපාංග යොදා ගැනීම  කාලීන අවශ්‍යතාවක් ව පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙන එළිදැක්වීමේ මෙම විශේෂ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන උපදේශක අති පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන  අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ අති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya