අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ දැවැන්ත වගා සංග්‍රාමයක්- ''සෞභාග්‍යා ව්‍යාපෘතිය'' ඇරඹේ

    අප්‍රේල් 05, 2020

    ලෝක ආර්ථිකයේ ඇතිව තිබෙන තත්ත්වය හා සැසඳීමේ දී මෙරට ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳව සළකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අප රට තුළ දැවැන්ත වගා සංග්‍රාමයක් ආරම්භ කර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් ඇති කිරීම තුළින් මෙරට කෘෂිකර්මාන්තය ඉතාම කඩිනමින් නඟා සිටුවීම සඳහා වන ජාතික ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

     

    ඒ අනුව, මෙරට තුළ නිපදවිය හැකි කෘෂි භාණ්ඩ මෙන්ම අනිකුත් භාණ්ඩ එනම්, ලංකාවට ආනයනය කිරීමට අවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සිමා කිරීමට ද කටයුතු කරන බව ද, මෙරට නිෂ්පාදන, කෘෂි කර්මාන්ත සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත රජයේ මූලික ප්‍රතිපත්තියක් වන බව ද සඳහන් කර සිටි අමාත්‍යවරයා විසින් සෞභාග්‍යා ව්‍යාපෘතිය මඟින් බිජ වර්ග 05 ක් අඩංගු බිජ පැකට් එකක් හෝ පැළ බඳුනක් රුපියල් 20.00 ක් වැනි සුළු මුදලකට ප්‍රදේශයේ කෘෂිකර්ම හා පර්යේෂණ නිලධාරී මඟින් නිවසටම ලබා දීම සඳහා වැඩපිළිවෙල සකසා ඇති බව ද එහි දී සඳහන් කෙරිණි.


    ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් සිදු කරන ලද මෙම සෞභාග්‍යා ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය මස 26 වන දින ආරම්භ කළ අතර එමඟින් දශ ලක්ෂයක ගෙවතු ඇති කිරීම ඉලක්කය වී ඇති බවත්, මේ වන විට සැළසුම් කළ ප්‍රමාණයට වඩා ඉල්ලුමක් පවතින අතර ඊට අවශ්‍ය බිජ සපයා ගැනීමේ යම් ගැටළුවක් ද පැන නැඟී ඇති බවත් කෙසේ හෝ ඊට කඩිනම් විසඳුම් සොයා ගෙන එකී ඉලක්ක සම්පූර්ණ කිරීම උදෙසා කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේය.

     

    මෙම අවස්ථාව මහඟු අවස්ථාවක් කරගනිමින් නිවසේ සිටින සියලුම අයවළුන් මීට දායක වෙමින් කාලය උපරිම ලෙස ප්‍රයෝජයට ගනිමින් වස විසෙන් තොරව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන ලෙසත් ලේකම්වරයා මෙහි දී ජනතාවට දැනුම් දී සිටි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා දායක වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති 1920 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.


    මෙම ව්‍යාපෘතිය ඔස්සේ අක්කර 12,500 ක් දක්වා ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ගන්නා බවත්, එක්ව නිෂ්පාදන ක්‍රියාවලියට සියල්ල දායක කර ගැනීමට සහා වගා කටයුතු සැළැස්මකට අනුව කටයුතු කරන බවත්, ආනයනය කර ඇතැම් ආහාර වර්ගවලට ආදේශක බෝග වර්ග වගා කිරීමට ද ප්‍රමුඛත්වයක් ගනු ලබන බවත් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා කියා සිටී.


    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ මෙරට ඇති ග්‍රාම නිලධාරී වසම් 14,022 ක සේවය කරන නිළධාරීන් ජාලයක් සහිත 31,000 ක් වූ ප්‍රජා මුල බැංකු මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා සහය ලබා දීමේ එකඟතාවය සෞඛ්‍ය අමතයතුමියගේ උපදෙස් ද මත අඩු ආදායම්ලාභීන්ගේ අදායම් මට්ටම වර්ධනය කිරීමත් සමඟ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීමටත් මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වීමෙන් හැකි වනු ඇතැයි ද, ඉතාමත් ඉක්මිනින් මෙම කටයුතු ආරම්භ කෙරෙන බව ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේය.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් අජන්ත සිල්වා මහතා ද මෙහි දී අදහස් දැක්විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya