අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට: සියලු තීරණ විශේෂඥ උපදෙස් අනුව...

    අප්‍රේල් 04, 2020

    කොවිඩ් - 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක්
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි කළේය. රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුවමාරුවේදී ප්‍රකාශ කෙරිණ. එසේ වුවද අවදානම තවම පහව ගොස් නැත.


    ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමිනි. රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද තීරණය කරනු ලැබීය. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේ දී එකඟත්වය පළ විය.


    ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ද තීරණය කෙරිණ. වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතකි. ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීහූ සඳහන් කළහ.


    ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිළධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya