අප්‍රේල් 01, 2020
tami eng youtube  twitter facebook

    ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110 කට සම්මාන පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී

    පෙබරවාරි 28, 2020

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේදී ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කථානායක කරූ ජයසූරිය මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) සිදු කෙරේ.

    2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට,කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කටයුතු කළේය. 2018 වර්ෂයේදී ආයතන 844 ක් ඇගයීමට ලක් වූ අතර ,ඉන් තෝරාගත් ආයතන 110 ක් වෙත සම්මාන පිරිනැමීම සිදුවේ.

     

    ඒ අනුව රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) ,රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, දිස්ත්‍රීක් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්,පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක,පළාත් සභා අධිකාරි,මහ නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ සම්මාන පිරි නැමේ.

    08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

    එමෙන්ම රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේ ප්‍රතිඵල සමාලෝචනය මඟින් ධනාත්මක වර්ධනයන් දක්නට ලැබේ .ඒ අනුව මූල්‍ය පාලනය හා කාර්ය සාධනය පිළිබඳ නීතිරීතිවලට අනුගතවීම් පිළිබඳ සමස්ත ප්‍රතිඵලය 2015 ගිණුම් වර්ෂයේදී 64% ක් වූ අතර, එය 2018 ගිණුම් වර්ෂයේදී 78% ලෙස සටහන් විය.

    මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් රාජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සාධනීය මට්ටමට ගෙන ඒම, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අපේක්ෂාවයි.

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya