අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ඇරඹේ

    පෙබරවාරි 13, 2020

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීමට අවශ්‍ය කටයුතු රජය විසින් සම්පාදනය කරනු ලබන බවත් ඒ අනුව ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, ජනමාධ්‍ය ස්ථාගාර (Press Clubs) ක්‍රමයක් පළාත්බදව දියත් කිරීම, ජනමාධ්‍යවේදීන් සඳහා නාගරික නිවාස සංකීර්ණයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවත් අද (12) දින තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවකට සහභාගීවෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    මෙරට මාධ්‍ය ආයතන තුළ විකාශය කෙරෙන වැඩසටහන් මගින් සංස්කෘතික හා සදාචාරාත්මක පරිහානියට තුඩුදෙන දෑ විකාශය වන බවට ආගමික නායකයින්ගෙන් චෝදනා එල්ලවන බවත් මාධ්‍ය වාරණයක් දියත් කිරීමට තමන් අදහස් නොකරන නමුත් මාධ්‍ය ස්වයං වාරණයක් අනුව ක්‍රියාත්මක වීම සුදුසු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    රූපවාහිනී නාලිකා තුළ විකාශයවන නාට්‍ය හරහා සමාජයට අහිතකර බලපෑම් සිදුවන පසුබිමක උසස් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන්ට ආරාධනා කර සිටියේය.

    මෙවර සිංහල - හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත යෙදෙන අප්‍රේල් 19 වැනිදා හරිත නැකත වෙනුවෙන් ‘අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්‘ යන තේමාව ඔස්සේ සෑම නිවසකම ගසක් රෝපණය කරමින් හරිත විප්ලවයට පණදීමට ජනතාවට එක්වන ලෙසට මාධ්‍ය මගින් ජනතාවට ආරාධනා කරන ලෙසටද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා ඔවුන්ගෙන් විස්තර ඒකරාශී කිරීමේ වැඩපිළිවෙල අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබෙන බව අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මෙහිදී පැවසුවේය.

    කර්තෘභාගය ගෙවීම ගැන ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ගීත නිර්මාණ කේන්ද්‍රයේ සාමාජිකයින් සාකච්ඡාවට එක්වෙමින් කර්තෘභාගය ගෙවීමේ වැදගත්කම අවධාරණය කර සිටියේය. ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරයවන ගීතයක් සඳහා රු. 30 ක මුදලක් ද රූපවාහිනී නාලිකාවක ප්‍රචාරයවන ගීතයක් සඳහා රු. 100 ක මුදලක් ද කර්තෘභාගය ලෙස ගෙවිය යුතු බවට සාකච්ඡාව අවසානයේදී එකඟතාවක් ඇතිවුණි.

     media.gov.lk

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya