පෙබරවාරි 21, 2020
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කරන්නයි- එසේ නොමැතිව වැඩ කරන එක නවත්වන්න නෙවෙයි- අග්‍රාමාත්‍ය

    ජනවාරි 29, 2020

    රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම අදහස් පළ කළේ,(28) පෙරවරුවේ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    පැවැති රජය මගින් රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය සේවය යම්තාක් දුරකට අකර්මන්‍ය වී ඇති බව මෙහි දී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඔවුන් පත්ව ඇති මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දී රාජ්‍ය සේවය නැවත සක්‍රීය කර ජනතාවට සේවය සලසන මට්ටමට රැගෙන එන බවයි.


    එසේ ම රටේ පවතින ආර්ථික තත්ත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී මතු වී ඇති ගැටලු පිළිබඳ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම කොන්ත්‍රාත්කරුවන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මෙහි දී පෙන්වා දෙන ලදී.


    ඒ අනුව මුදල් අමාත්‍යවරයා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් නංවමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙන ලදී. එසේ ම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට සිය කටයුතු නොබියව සිදු කරගෙන යන ඉල්ලා සිටි මුදල් අමාත්‍යවරයා ඔවුන්ට අයවිය යුතු මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.


    පසුගිය රජය ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර තිබීම හේතුවෙන් රජය සේම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය දැක් වූ පෞද්ගලික ආයතන පත්ව ඇති අපහසුතාවන් අවදානය යොමු කළේ ය. මුදල් අමාත්‍යවරයා පසුගිය රජයේ වියදම් ප්‍රමාණය ඉහළ යාමත් වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය ඉහළ ගොස් ඇති බව ද මෙහි දී පෙන්වා දෙන ලදී. එසේම දැනට ක්‍රියාත්මක වන රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ද සාර්ථිකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.


    එමෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දී ඇති සහන වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. ඒ අනුව දැනට විවිධ ණය ලබාගෙන ගෙවා ගැනීමට නොහැකි වී ඇති වී ඇති හෝ ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ව්‍යපාරිකයන් සඳහා මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සහන පැකේජය පිළිබඳව පැහැදිලි කරමින් අදාළ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාම සඳහා උපරිම සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම සහන පැකේජය යටතේ ණය අයදුම් කිරීමේ දී ණය තොරතුරු කාර්යාංශය වාර්තාව ගැටලුවක් කර නොගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.


    මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍යවරු වන ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානිහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya