අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ සංස්කෘතික හර පද්ධතීන්ට අනුකූල වන ලෙස රාජ්‍ය මාධ්‍ය හැඩ ගැස්විමට නිදහස් දිනයත් සමඟ කටයුතු කරනවා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 28, 2020

    එළඹෙන පෙබරවාරි 04වෙනි දා සිට ජාතික නිදහස් දිනයට සමගාමී ව රාජ්‍ය මාධ්‍ය වශයෙන් සැලකෙන ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලේක්හවුස් ආයතනය, ගුවන්විදුලිය ඇතුළු සියලු ම රාජ්‍ය මාධ්‍ය මෙරට සංස්කෘතික හර පද්ධතීන්ට සහ මානව ධර්මතාවලට පටහැනි නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

     

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 25වන දින මත්තේගොඩ ශ්‍රී ජිනරතනාරාමයේ දී පැවති “මත්තෙගොඩ මෙත් ගඟුල“-පූජ්‍ය පත්ගම්විලයායේ සෝරත ස්වාමීන්වහන්සේගේ චරිතාපතාපදානය එළිදැක්වීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ජනමාධ්‍ය අපේ රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැලපෙන ලෙස සහ මානව ධර්මතාවලට එරෙහි ව ඇතැම්විට ක්‍රියාත්මක වීම සම්බන්ධ ව මහා සංඝරත්නයෙන්, උගතුන් සහ බුද්ධිමතුන් මෙන් ම සාමාන්‍ය ජනතාවගෙන් ද චෝදනා එල්ල වෙනවා.  අපි දන්නවා විශේෂයෙන් ම රාජ්‍ය ම මාධ්‍යවල වගකීමක් තිබෙනවා මේ රටේ දරුවන් පිළිබඳ ව ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප සංවර්ධනය පිළිබඳ ව, විවිධ ජනවර්ග සහ ඒ ඒ ධර්මතා පිළිබඳ ව, රටේ සංස්කෘතික හර පද්ධතීන් සුරක්ෂිත කරමින් කටයුතු කරන්නට. ඒ වගීමෙන් මිදෙන්නට අපට බැහැ.

    එමෙන් ම රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙරට උසස් අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස්කම් සිදු කරන්නට අපි පසුබට වෙන්නේ නැහැ. දැනට රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගන්නේ උසස් පෙළ සමතුන්ගෙන් 30 000ක් විතර යි. ඔබ නොදන්නවා වුණා ම තවත් 20 000ක් වාර්ෂික ව උසස් අධ්‍යාපනය සඳහා පිටරට යනවා. මේ සඳහා වාර්ෂික ව රුපියල් බිලියන 50 000කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. දෙමාපියන් අමාරුවෙන් ඒ දරුවන් කෙසේ හෝ පිටරටවලට යවනවා. ඒකෙන් රටට අහිමිවන්නේ අපේ රටේ සංවර්ධනයට දායක කරගත හැකි මුදල්. ඒ විතරකුත් නොවෙයි. ඒ දරුවන් ඒ රටවලට ගිහින් තමන්ගේ උපාධිය ලබාගෙන රැකියා ද එහෙන් ම ලබාගෙන තමන්ගේ පවුල් ජීවිතය එහේ පටන් ගන්නවා. පුරවැසි භාවය ලබා ගන්නවා. තමන්ගේ දරුවන්ට එහේ උගන්වනවා. විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් මෙන් ම විශාල මානව සම්පතක් ද විශාල මුදල් ප්‍රමාණයක් ද අපේ රටට අහිමි වෙනවා. මේක විශාල ඛේදවාචයක්. ඒ නිසා ම මේ මුදල රට තුළ ඉතිරි කර ගැනීමට පමණක් නොාව විදේශයන්ගෙන් මුදල් රටට ගෙන්වා ගැනීමට ද අදාළ සැලසුම් මේ වනවිට අපි ක්‍රියාත්මක කරමින් පවතිනවා. විදෙස් සිසුස් මෙරටට ගෙන ඒමට ත් ඒ අයට අවශ්‍ය උසස් අධ්‍යාපනය ලංකාව තුළ ලබා දීමට ත් කටයුතු කරනවා. ඒ තුළින් අපිට විශාල මුදලක් උපයා ගත හැකි යි. ඒ නිසා ම ලංකාව උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවැදි විශාල පිරිසක් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya