පෙබරවාරි 21, 2020
tami eng youtube  twitter facebook

    ගොවීන්ට අභිමානයක් ලබා දුන්නොත් අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යා හැකියි- අමාත්‍ය චමල් රාජපක්ෂ

    ජනවාරි 27, 2020

    පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ බෙදා දීමේ උත්සවයක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාලබේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විණ.

    මෙහිදී ගරු අමාත්‍යතුමා කෘෂිකර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ කළේය.
    ''පසුගිය කාලයේ වර්ෂාව නිසා උඩරට එළවළු විනාශ වෙලා. හේන් ගොවිතැනත් විනාශ වුණා. එළවළු මිල ඉහළ යන නිසා අර්තාපල් වලට අයකරන බද්ද අඩු කළා. වී ප්‍රශ්නෙදි වුණත් අපි බලන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ කොහොමද කියලයි. ඒවගේම ගොවීන් ආරක්ෂා කරගන්න. ගොවීන් සාධාරණ මිලක් ලබා දෙන්න.පුත්තලමේ වී ගොවීන්ගෙන් මිලදී ගන්නේ කිලෝවක් රු.35 ගණනේ කියලා කියනවා මම අහගෙන හිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වැඩි මිලක් ලබා දෙන්න.


    අපේ බලාපොරොත්තුව ගොවීන් සමඟ එකතු වෙලා නිෂ්පාදනය වැඩි කරන්න. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුර ඇති කළේ ගොවිතැන පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙන්නයි. ඒ වගේම නිෂ්පාදනය වැඩි කරන්න, පර්යේෂණ සිදු කරන්න. නමුත් ඒ දේ වෙන්නේ නැති බව පෙනෙනවා.මිචිගන් සරසවියේ සියලු දෙනා ගොවිබිමට ගිහින් ගොවීන් එක්ක තමයි පර්යේෂණ කරන්නේ. අපේ රටේ ඒ තත්ත්වය අඩුයි. කෘෂිකර්ම නිලධාරීන්ට රාජකාරියේදී ඉලක්ක ලබා දීලා තියෙනවා. ඒක පහසුයි. ඉලක්ක හඹා යන්න පුළුවන්. වගකීමෙන් වැඩ කරන්න පුළුවන්.


    ගොවි ජනතාවට නව තාක්ෂණය අවශ්‍යයි. හම්බන්තොට වැලිගත්ත පටක රෝපන මධ්‍යස්ථානයක් පටන් ගත්තා. දැනට එහි ගොවීන් 1000ක් පමණ පුහුණුව ලබනවා. ඒ ගොවීන්ට කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එකතු වෙලා උපාධියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ ගොවීන්ට අභිමානයක් ලබා දුන්නොත් අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යන්න පුළුවන්.


    බටඅත ගොවිපල Agro Tourism සංකල්පය යටතේ දියුණු කළා. හෙළ බොජුන් හල් පටන් ගත්තා. එතනින් වසවිසෙන් තොර දේශීය ආහාර ලබා ගන්න පුළුවන්. අලුත් ළමයින්ට පරණ දේවල් දකින්න පුළුවන්. අද අපි ගොවිජන මධ්‍යස්ථානවලට පුරන් කුඹුරු අස්වද්දන්න අවශ්‍ය යන්ත්‍ර දුන්නා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හැමදාම ට්‍රැක්ටර් දෙනවා. හැබැයි නඩත්තුවක් නැහැ. ටික කාලයක් යනකොට අයින් කරනවා. ඒ කාරණය ගැනත් අවධානය යොමු කරලා නිසි නඩත්තුවක් සහිතව මෙම යන්ත්‍ර උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි." යනුවෙන් සඳහන් කළේය.


    මෙහිදී වැඩසටහනේ අරමුණ පැහැදිලි කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එච්. බී. වීරසේකර මහතාය. "පසුගිය වසර කිහිපය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ආරම්භ කළා. අපට ලැබෙන ප්‍රතිපාදන මත ඒවා කලමනාකරණය කර ගනිමින් ගොවිජනතාවගේ ප්‍රශ්න විසඳන්නට, ඒවගේම අපට පැවරිලා තියෙන විෂයන් වන සුළු වාරිමාර්ග කටයුතු සංවර්ධනය කිරීම, නෛතික කටයුතු කිරීම, පොහොර, බීජ හා රෝපන ද්‍රව්‍ය ලබා දීම ආදිය අපි කරගෙන යනවා.


    දැනට අපේ රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන පුරන්කුඹුරු ප්‍රශ්නය අපි අඳුරගන්නේ 2018දී. පසුගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා පුරන් කුඹුරු අක්කර 14,000ක් වගා කරන්න. ගිය වසරේ අපි පුරන් කුඹුරු වගා කරන්න තරඟ ආරම්භ කළා. පුරන් කුඹුරු ඇතිවීමට ප්‍රධාන හේතුව ඇළ මාර්ග සුද්ධ කර ගන්න බැරිවීම. පොඩි ඇළ මාර්ගයක් සුද්ධ කර ගන්න බැරි වුණාම යායක්ම පුරන් වෙනවා. මානව සම්පතේ හිඟකම, දේශගුණේ කාලගුණේ වෙනස්කම් මත කුඹුරු කරන්න අමාරුයි. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ කුඹුරු A, B, C වශයෙන් වර්ග කළා.


    A ශ්‍රේණියේ පුරන් කුඹුරක් කියන්නේ වතුර ඇතුළු සියලු පහසුකම් තියෙන වගා කරන්න පුළුවන් පුරන් කුඹුරු.ඒවා පුරවන්න හෝ වෙනත් බෝග වගා කරන්න දෙන්නේ නැහැ. කුඹුරක් කියන්නේ වතුර පිරුණු වලක්
    නෙවෙයි. කාටවත් පස් අරන් පුරවන්න බැහැ. කුඹුරක් කියන්නේ කැබලි කඩලා විකුණන්න තියෙන ඉඩමක් නෙවෙයි. ජපානය වගේ රටවල නගරය මැදත් කුඹුරු තියෙනවා. භූගත ජලය ආරක්ෂා වෙන්නේ, ගංවතුර
    ආවොත් පාලනය වෙන්නේ කුඹුරු නිසයි. ඒ වගේම ජෛව විවිධත්වය තියෙන අපේ උරුමයක්. A ශ්‍රේණියේ කුඹුරුවලට වෙනත් කටයුතු සඳහා අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. B ශ්‍රේණිය කියලා අපි හඳුනගෙන තියෙන්නේ නිසි වැසි නොලැබෙන හොඳ වාරිමාර්ග ක්‍රමයක් නොමැති වී වගා කිරීමට අපහසු කුඹුරු. 2020 ජනවාරි 01 අපි චක්‍රලේඛයක් නිකුත් කළා, B ශ්‍රේණිය කුඹුරුවල වෙනත් බෝග වගා කරන්න අවසර දෙන්න. එහිදී කෙසෙල්, කුරුඳු, ගම්මිරිස් ආදි ඕනෑම බෝගයක් වගා කරන්න දෙනවා.

    පුරන් කුඹුරු මංගල්‍යය අපි කෑගල්ලෙන් ආරම්භ කරනවා. ඒක දිස්ත්‍රික්ක 15ක පටන් ගන්නවා. ගාල්ල, මාතර, කළුතර, කොළඹ, පුත්තලම, රත්නපුර,කුරුණෑගල, වවුනියාව, කිලිනොච්චිය එකම දිනයක අරඹනවා. පෙබරවාරි 15 පුරන් කුඹුරුවල වෙනත් බෝග වගාව පටන් ගන්නවා.

    අපිට ලැබෙන ප්‍රතිපාදන අනුව අපි විශාල වැඩකොටසක් කරනවා. නිලධාරින් දිරිමත් කරන්න ගොවිජන අභිමන් නමින් හොඳ වැඩසටහනක් කරනවා. තරඟ පවත්වලා හොඳම ගොවිජන මධ්‍යස්ථානය, හොඳම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තෝරනවා. තරඟෙන් පසුව අපි ගොවිජන මධ්‍යස්ථාන වගේම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ශ්‍රේණි ගත කරනවා.

    අද දිනයේ අපි දිස්ත්‍රික් 11කට ස්කැවේටර් යන්ත්‍ර ලබා දෙනවා.මිලියන 89ක් වියදම් කරලා ජපානයෙන් මෙම යන්ත්‍ර ගෙන්නුවා. පුරන් කුඹුරු අස්වැද්දීමේ එක් පියවරක් තමයි මේ යටිතල පහසුකම් දියුණු කිරිම  යනුවෙන් කොමසාරිස්තුමා වැඩසටහනේ අරමුණු පැහැදිලි කළේය.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya