අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂිකව 6.5% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම නව රජයේ ඉලක්කයයි - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ජනවාරි 17, 2020

    නව රජය මඟින් ජනතාවට පොරොන්දු වූ පරිදි රජයේ බදු ප්‍රතිපත්තිය අනුව බදු සහන ලබා දීමට කටයුතු කර ඇති බවත්, ඊට සමගාමි ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සහන පැකේජයක් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා (16) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම තුළින් බදු සහන වල ප්‍රතිලාභ ඍජුව ම මෙරට ආර්ථිකයට ලබා ගැනීමට හැකි බව පෙනී ගොස් ඇති නිසා ඔවුන්ගේ දායකත්වය වඩාත් වැදගත් බව ඒ මහතා මෙහි දී කියා සිටියේය.


    ඒ අනුව, රජය විසින් ක්‍රියාත්මක වන සහන පැකේජය ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපහසුතාවයට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තමන්ගේ අදාළ බැංකුව සමඟ සාකච්ඡා කර 2020.01.31 දිනට පෙර ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව ද, මේ සම්බන්ධ ව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම බැංකු දැනුවත් කර ඇති බව ද මෙහි දී සඳහන් කෙරිණි.


    ණය ලබාගෙන ගෙවාගත නොහැකි වීම හා ඇපයට තබාගත් දේපොළ අහිමි වීමේ අවදානමක් පැවතීම යන හඳුනාගත් ගැටළු නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි පසුබෑමකට පත් ව සිටින හෙයින් එය වැළක්වීමේ අරමුණින් යුතු ව දේපොළ වෙන්දේසි කිරීම වසරක කාලයකට නතර කිරීමට රජය කටයුතු කළ බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    එමෙන්ම, දැනට සක්‍රිය තත්ත්වයේ පවතින ණය තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 2020.12.31 දක්වා සහන කාලයක් ලබා දී ඒ අනුව ඔවුන්ගේ ප්‍රාග්ධනය නොගෙවා පොළිය පමණක් ගෙවීමට අවශ්‍ය පහසුකම් සළසා ඇත. මහ බැංකු මුල්‍ය මණ්ඩලයේ එකඟතාවයෙන් යුතු ව ගෙවීමට ඇති වාරික ප්‍රමාණය අය කරන මුදල වැඩි නොකර වාරික ප්‍රමාණය දෙගුණයකට නොවැඩි ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය තීන්දුව ගෙන ඇත. ඒ අතරතුර දඩ පොළී සියල්ල ඉවත් කිරීමත්, ගිවිසුම්ගත පොළිය මත එකී ව්‍යවසායකයින්ට ව්‍යාපාර කටයුතු කිරීමේ අවකාශය ලැබේ.


    තව ද, බැංකුව විසින් පිළිගත හැකි රටේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ රැඳෙමින් දැනට කරන ව්‍යාපාරය ප්‍රසාරණය කිරීම සඳහා පිළිගත හැකි යෝජනාවලියක් ලබා දෙන්නේ නම් මිලියන 300 දක්වා ණය ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා ඇපකරයක් ලබා දීමට හැකි බවත්, එමෙන්ම, අයිරා පහසුකම් සඳහා ලබා දුන් කාල සිමාව 2020 ජුනි 30 දක්වා දීර්ඝ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය වරයා මෙහි දී කියා සිටියේය.


    අක්‍රිය තත්ත්වයේ පවතින ණය තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ක්‍රියාත්මක නීතිමය කටයුතු අත් හිටුවා ඇති බවත්, දඩ පොළිය කපා හැරීමටත්, අක්‍රිය තත්ත්වයේ පවතින එහෙත් 50% ක් ගෙවා ඇති විටෙක ඔවුන් සඳහා බැංකුව සමඟ සාකච්ඡා කොට ඉතිරි මුදල ගෙවීමට සහන සළසා ඇති බවත්, අක්‍රිය වන විට 25% ක් ගෙවා නොමැතිවූවන් සඳහා ණය ඔවුන්ට 25% ක පොළී සහනයක් ලබා දීමටත්, මෙම සියලුම ණයකරුවන් සඳහා වසරක සහන කාලයක් සහ මාස තුනක කාරක ප්‍රාග්ධනයක් ලබා දීමටත් පියවර ගෙන ඇති බවත්, පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ සහන පැකේජය ක්‍රියාත්මක කිරීම මඟින් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථිකයට ලැබීම මඟින් මුදල් සංසරණය ක්‍රමවත් කර නව රජයේ ඉලක්කය වන වාර්ෂිකව 6.5% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya