අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක්

    ජනවාරි 16, 2020

    සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩ සටහනක් ක්‍රියාවට නැංවේ.

    ඒ අනුව මෙරට තරුණ තරුණියන්ට කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලය වලට ඇතුළත්ව සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උපාධි ලබා ගැනීමට හැකියාව ලැබේ.
    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර (14) පැවති ද්විපාර්ශවික සාකච්ඡාවක දී මේ පිළිබදව එකගතාවය පළ විය.

    මේ අනුව වසර 02 ක කාලයක් මෙරට විශ්ව විද්‍යාලයක සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට අවසන් වසර 02 කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්ව උපාධිය සම්පුර්ණ කිරීමට හැකිවෙන පරිදි වැඩසටහනක් සැකසීම පිළිබදව මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. එමෙන්ම කැනඩා විශ්ව විද්‍යාලවල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සදහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හැකි බව ද කැනේඩියානු මහා කොමසාරිස්වරයා කීවේය.


    සංචාරක අමාත්‍යාංශයට අයත් සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මගින් දැනට පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සදහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමටද කැනේඩියානු මහා කොමසාරිස්වරයා මෙහිදී එකගතාවය පල කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ එම පාඨමාලාවද උපාධි තත්ත්වයට උසස් කිරීමට අපේක්ෂා කරන බවයි. දෙරට අතර යෝජිත ඒකාබද්ධ වැඩපිළිවෙල හරහා එය ද ක්‍රියාත්මක කළ හැකි බව රණතුංග මහතා පෙන්වා දුන්නේය.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සහ කැනේඩියානු මහා කොමසාරිස්වරයා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ කලාපීය ගුවන්තොටුපළක් ලෙස කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන් ම මෙරට අභ්‍යන්තර ගුවන් සේවා වැඩි කිරිමට අපේක්ෂා කරන බව ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහි දි කීවේය. කටුනායක, මත්තල, යාපනය, ත්‍රීකුණාමලය අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමෙන් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කීවේය. ඊට ප්‍රතිචාර දැක්වු කැනේඩියානු මහා කොමසාරිස්වරයා කීවේ එය ඉතා හොද පියවරක් බවයි. ඒ සදහා ද සහාය පළ කිරීමට කැනේඩියානු මහා කොමාසාරිස්වරයා මෙහිදි එකගතාවය පළ කළේය.

    මෙම සාකච්ඡාව සදහා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය හා කාර්මින අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya