අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයෙන් තවත් සහන පැකේජයක්

    ජනවාරි 11, 2020

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මෙම පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය මුදල් සක්‍රීය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයන්ට සේම අක්‍රීය මට්ටමේ සිටින ව්‍යාපාරිකයන්ට ද සහන හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 6.5%ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. මේ යටතේ දැනට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.


    මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණ කෙරිණි. නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්ක කර ගනිමින් ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් මේ වනවිටත් නොගෙවා පැහැර හැර ඇති ණය අයකර ගැනීම සඳහා ගනුලබන නීතිමය කටයුතු අත්හිටුවන ලෙස සියලුම බැංකු වෙත නියෝග කර ඇත. ඒ අනුව, යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මූල්‍ය දුෂ්කරතාවයන් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් පහත සඳහන් සහන යෝජනා කර ඇත.


    01. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන 2019.12.31 දින වන විට සක්‍රීය තත්ත්වයේ පවතින ණය සඳහා පහත සඳහන් සහන ලබා දෙනු ලැබේ.
    i. ණය ගැනුම්කරු විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මත, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දී ඇති කාලීන ණයවල මුල් මුදල ගෙවීම සඳහා 2020.12.31 දින දක්වා සහන කාලයක් ලබා දීම.

     ii. බලපත්‍රලාභී බැංකු විසින් ණය සහන ලබාගත් සක්‍රීය ණය වල වාරිකයේ වටිනාකම වැඩි නොකර සහන කාල සීමාවෙන් පසු ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කළ යුතුය.
    iii.ණය ආපසු ගෙවීම කල්දැමීමේ කාල පරිච්ඡේදය තුළදී, කිසිදු දඩ පොළියක් නොමැතිව ගිවිසුම්ගත පමණක් අය කළ යුතුය.
    iv. ණය ගැනුම්කරු විසින් විශ්වසනීය ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් බලපත්‍රලාභී බැංකු විසින් රුපියල් මිලියන 300 නොඉක්මවන නව ණය පහසුකමක් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව ලබා දිය යුතුය;
    (අ) ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා වසර 05 කින් ආපසු ගෙවී යන පරිදි සාමාන්‍ය බරතැබූ ප්‍රමුඛ ණය පොළී අනුපාතයට සමාන පොළී අනුපාතයකට ණය පහසුකම් ලබාදීම.
    (ආ) එම ණය මුදල සඳහා වසරක උපරිම සහන කාලයක් ලබා දිය හැකිය.
    v. 2020.03.31 දක්වා කාල සීමාව තුළදී කල් පිරීම/සමාලෝචනයට පැමිණීම/පියවිය යුතු වීම යන කරුණු මත අයවිය යුතු නිත්‍ය අයිරා පහසුකම්, 2020.06.30 දක්වා දීර්ඝ කළ යුතුය.
    vi. 2020.03.31 දින දක්වා වන කාලසීමාව තුලදී කල්පිරීම/සමාලෝචනයට පැමිණීම/පියවිය යුතු වීම යන කරුණු මත අයවිය යුතු ලෙස සැලකෙන ආනයන මූල්‍ය පහසුකම් දින 30 කින් දීර්ඝ කිරීම.

    02. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන එකඟ වූ පරිදි ගෙවීමට නොහැකි වීම නිසා 2019.12.31 දින වන විට අක්‍රීය තත්ත්වයේ පවතින ණය සඳහා පහත සඳහන් සහන ලබා දෙනු ලැබේ.
    i. අක්‍රීය ගණයේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ ණය අයකර ගැනීම සඳහා කරනු ලබන සියළුම නීතිමය කටයුතු අත්හිටුවීම.
    ii. මුළු දඩ පොළිය අදාල බැංකුව විසින් සම්පූර්ණයෙන් කපා හැරීම.
    iii. (අ) ණය ගැනුම්කරු මූලික ණය මුදලින් 50% ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවා ඇත්නම්, සමුච්චිත පොළියෙන් 50% ක් රඳවා තබනු ලබන අතර, ණය ගැනුම්කරු විසින් ඉතිරි මූලික ණය මුදල හා පොළිය ගෙවීමෙන් පසුව එම රඳවා තැබූ සමුච්චිත පොළිය කපා හැරීම.
    (ආ) ණය ගැනුම්කරු මූලික ණය මුදලින් 50% ට වඩා අඩු මුදලක් ගෙවා ඇත්නම්, සමුච්චිත පොළියෙන් 25% ක් රඳවා තබනු ලබන අතර, ණය ගැනුම්කරු විසින් ඉතිරි මූලික ණය මුදල හා පොළිය ගෙවීමෙන් පසුව එම රඳවා තැබූ සමුච්චිත පොළිය කපා හැරීම.
    (ඇ) ඉහත (අ) හා (ආ) හි දක්වා ඇති පරිදි ගෙවීමට ඇති ඉතිරි පොළිය හා මුල් මුදල ගෙවීම සඳහා මුල් ණය මුදල ගෙවීමට ලබාදුන් කාලයෙන් ඉතිරිව ඇති කාලසීමාව මෙන් දෙගුණයකට නොවැඩි කාලයක් ලබාදීම.
    (ඈ) එම මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් (grace period) ලබා දීම.
    iv. එසේ ණය ගෙවීමට නොහැකිවීම නිසා කඩාවැටී ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා පහත කොන්දේසිවලට යටත්ව අලුතින් කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම.
    (අ) මාස 03 ක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව උපරිම මාස 06 කින් ගෙවීම සඳහා ලබාදීම.
    (ආ) ඒ සඳහා මාස 03 ක ණය පමා සහන කාලයක් (grace period) ලබා දීම.
    (ඇ) මෙම ණය මුදලේ පොළී අනුපාතය, පවත්නා ප්‍රතිවිකුණුම් අනුපාතයෙන් 2% ට වඩා වැඩි නොවිය යුතුය.
    (ඈ) මෙම කාරක ප්‍රාග්ධන ණය මුදල සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රති ඇපකරයක් ලබා දීම. ඒ සඳහා 1% වාර්ෂික දායක මුදලක් අදාල බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

    පැවැති ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ වෙනස වන්නේ ව්‍යාපාරිකයන්ගේ අදහස්වලට කන් දෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ දැනට ලියාපදිංචි බැංකුවලින් ලබා ගත් ණය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක මෙම සහනයන් ඉදිරියේ දී සෙසු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි.


    භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල හෙට්ටිආරච්චි යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya