අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට නිසි සේවය ලබාගැනීමට හදිසි මරණ පරීක්ෂක සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

    ජනවාරි 10, 2020

    ජනතාවට නිසි ලෙස සේවය ලබා ගැනීමට හදිසි මරණ පරීක්ෂක සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    කොළඹ නගරයේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව නියොජනය කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්.අමීන් සහ කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඕමාර් කාමිල් යන මහත්වරුන් ඇතුළු දුත පිරිසක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා ද සමගින් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු වී, හදිසි මරණ පරීක්ෂවරුන්ගේ සේවාව විධිමත්ව හා නොපමාව ජනතාව වෙත ලබාදීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් පැවැත් විය.


    සිය ආගමික වත් පිළිවෙත් අනුව මුස්ලිම්වරයෙකු මිය ගොස් පැය 24 ක් තුළ ඒ අයගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කළ යුතු බවත්, හදිසි මරණයකදී මෘත ශරීරය ලබා ගැනීමේ ඇති ප්‍රමාදයන් වළක්වා දීම සදහා කටයුතු කළ යුතු බවත් නියෝජිත පිරිස අවධාරණය කළේය.


    මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේදී වඩාත් සුදුසු වන්නේ ඒ සදහා නීතිඥවරුන් පත් කිරීම බව ප්‍රකාශ කළ නියෝජිත පිරිස පසුගිය රජයසමයේදී එසේ නීතිඥවරුන් පත් කිරීමට තිබු වැඩ පිළිවෙළ හා ගැසට් නිවේදන අවලංගු කොට ඒ වෙනුවට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් අයවලුන් පත් කිරීමට නීති ගත කර කටයුතු කළ බව ද පෙන්වා දුන්නේය.


    මෙම තීරණයට එරෙහිව හදිසි මරණ පරීක්ෂවරුන් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කොට ඇති බව ද පෙන්වා දුන් අතර මෙම ගැටළු නිරාකරණය කිරීම සදහා විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

     

    හදිසි මරණ පරීක්ෂක ධුරය වේතනයක් ලැබෙන රාජ්‍ය සේවයක් නොව යම් ආකාරයක ගරු සේවයක් ලෙස අනාදිමත් කාලයක් තිස්සේ සළකනලද බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සේවය ඉටු කිරීම සදහා නීතිඥවරුන් ඉදිරිපත් වන්නේ නම් දැනට ඇති නීති ප්‍රතිපාදන තුළත් නීතිඥවරුන් පත් කිරීමේ හැකියාව ඇති බව ද එසේ නිතිඥවරුන් ඉදිරිපත් නොවන්නේ නම් වෙනත් සුදුසු පුද්ගලයින් පත් කිරීම හැර සේවාවන් පවත්වා ගෙන යෑම සදහා වෙනත් විකල්පයක් නොමැති බව පෙන්වා දුන්නේය.

    දිවයිනේ සේවය කරන හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබදව රාජකාරී පැහැර හැරීම පිළිබදව තම අමාත්‍යාංශය වෙත පැමිණිළි ලැබෙන බවත් එහෙයින් හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම ඉතා සුපරීක්ෂාකාරීව කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    තවද හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා ඔවුන් කටයුතු කරන විෂය ධාරාව තුළ මුලික දැනුමක් ලබා දිය යුතු බවත් එසේම හදිසි මරණ පරීක්ෂවරුන්ගේ කටයුතු අමාත්‍යාංශය මගින් මීට වඩා පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවත් අමාත්‍යවරයා සිය නිලධාරීන්ට දන්වා සිටියේය. ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදවත් දැනට අධිකරණයේ පවතින නඩු පිළිබදවත් අවධානය යොමු කොට ජනතාවට නිසි ලෙස සේවය ලබා ගැනිම සදහා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවාව ශක්තිමත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.


    මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති ) පියුමන්ති පිරීස් ,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අශෝකා ස්වර්ණලතා යන මහත්මීන් අතුළු නිලධාරීන් ද එක් විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya