අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන ඇරඹේ- ජනවරි 09 දක්වා මදුරු මර්දන වැඩසටහන්

    ජනවාරි 08, 2020

    2020 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන්වල සමාරම්භක උත්සවය ගාල්ල ධීවර වරාය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹේ.

    ඊයේ (07) සිට ජනවරි (09) දක්වා දීප ව්‍යාප්තව මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.


    2020 වර්ෂයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත හා කාෂි අපනයන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් ඩෙංගු අවධානම් සහිත කලාපයක් ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන ඇති ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ දී පැවැත්විනි. මෙම සමාරම්භක වැඩසටහනේ අරමුණ ජනතාව ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා උනන්දු කරවීම සහ මදුරු මර්දන කටයුතු පිළිබද හා ඩෙංගු රෝගය පිළිබද ජනතාව සෘජුව හා මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම වේ.

     

    ඩෙංගු මදුරු මර්දන කටයුතු විධිමත් කිරිම පිළිබද සාකච්ඡා වට කිහිපයක්ම සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලය පුරා පැවැත්වූ අතර, 2020 වසරේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපෘතිය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම මස 07,08,09 යන තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ද මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය අඩුවීම සදහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නගර අලංකරන සහ පවිත්‍රතා කිරීමේ වැඩපිළිවෙළ ද හේතු සාධක වී ඇත. පසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙල සදහා සම්බන්ධ නොවූ අතර දැනට ක්‍රියාත්මක මදුරු මර්දන වැඩසටහන් සදහා ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබී ඇත.

     

    මෙම සමාරම්භක උත්සවයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මෙම කටයුත්ත සංවිධානය කරපු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුලු සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් අප කළ යුතු ප්‍රධානතම කාරණාව වන්නේ ජනතාව දැනුවත් කිරිම. මෙවැනි කටයුත්තකින් අප බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරිමයි. පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 100 ක් පමණ මරණයට පත්වෙලා තිබෙනවා. ඩෙංගු රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වනවා. පසුගිය මාස එකහමාරක කාලය තුල ඩෙංගු පාලනය සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගත් නිසා අද ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවෙමින් තිබෙනවා. මර්දනය කර ගත හැකි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය හරහා ජනතාව ඩෙංගු රෝගය

    පිළිබද දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. එමගින් ජනතාව සිය පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවලින් අපි ඉල්ලා සිටිනවා ස්වේච්ඡාවෙන්ම ඩෙංගු මර්දනය සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට කරන ඉල්ලීම මාධ්‍ය හරහා සමාජ වගකීමක් හැටියට ප්‍රචාරය සදහා කටයුතු කරන්න. මාර්ගයේ ඇති දැන්වීම් පුවරු ද මෙම ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියට යොදා ගත හැකි වෙනවා.”

     

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 2020 වසරේ ඩෙංගු මදුරු මර්දන සමාරම්භක උත්සවය ක්‍රියාත්මක කිරිමට පියවර ගැනීම පිළිබදව සතුටට පත් වන බවත්, පසුගිය වසරේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 11 ක් වාර්තා වුණ බවත්, ඉන් 08 ක්ම ගාල්ල නාගරික ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි. නාගරිකරණය වැඩි ප්‍රදේශ වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දැඩිව ක්‍රියාත්මක කිරමින් ඩෙංගු වලින් තොර කළාප බවට පත්කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

     

    සමාරම්භක උත්සවයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු ආරාධිතයින් ගාල්ල ධීවර වරායේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පරීක්ෂාවට ද එක්විය.

     

    මෙම සමාරම්භක උත්සව අවස්ථාව සදහා දකුණූ පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් ගමගේ මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ඇතුලු කාර්ය මණ්ඩලය, දකුණූ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ දකුණු පළාත් මාණ්ඩලික නිලධාරීන්, සිව්ල් පරිපාලන නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya