අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උපාධිය පිරිනමන ආයතනයක් බවට පත් කරනවා- රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල

    ජනවාරි 08, 2020

    ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය හෙවත් SLIATE ආයතනය උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අවධාරණය කරයි.

    පසුගියදා (06) SLIATE ආයතනයේ ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග එම ආයතනය වැඩිදියුණු කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙසේද පැවසීය.

    SLIATE හරියට කැලේ පිපුණු මලක් වගේ. වැඩි අගයක් ජාතියට ලබාදීමේ හැකියාව තිබියදී ඉන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි මගේ හැඟීම. ඒ නිසා ඉක්මනින්ම මෙම ආයතනය උපාධි ලබා දෙන ආයතනයක් බවට පත්කරමින් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. අපේ දරුවන්ගේ දර්ශනය එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක වන ආයතන 19 තුළ ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 60 - 80 ක් වැනි මට්ටමකට වැඩි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන භෞතික සම්පත් සියල්ල ලබා දීමටත් අපි කැප වෙනවා.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය විශ්වවිද්‍යාල හා උපාධි ලබා දීමට බලය දී තිබෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් අප ආයතනය වැඩිදියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා. උපාධි මට්ටමට පහසුවෙන් ගෙනයාහැකි සුදුසුම විෂය කිහිපයකින් මෙම කාර්යය අපි ආරම්භ කරනවා. මෙම ආයතනය තුළ අධ්‍යාපනය ලබාදෙන විෂයපථයන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව යාවත්කාලීන කළ යුතුයි. එහිදී අප අමාත්‍යාංශය යටතේ පවතින නවීන පර්යේෂණ ආයතන සමඟ සම්බන්ධවී අපේ දරුවන්ට නව පර්යේෂණවලට යොමු වීමේ අවස්ථාවත් උදා කරනවා. ඒ හරහා ආයතනයට වැඩි අගයක් ලබා දීම පහසු වෙනවා.

    මෙම කාර්යයේ මුල් පියවර ලෙස ඉදිරි සති දෙකක පමණ කාලය තුළ මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශව එක් කරමින් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානය යොමුකර එකඟතාවන් සහිතව උපාය මාර්ගික සැලැස්මක් සකසනවා. එයට අනුගතව මෙම ආයතනයේ මීළඟ බඳවා ගැනීමත් නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරනවා. SLIATE ආයතනය වැඩිදියුණු කිරීමට හොඳම අවස්ථාව මෙයයි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා අනාගත පරපුර තාක්ෂණික අංශයෙන් සන්නද්ධ කළ යුතුය යන කරුණ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ කාර්යය ඉටු කර ගැනීමට පහසුවෙනවා.

    SLIATE උපාධි ලබා දෙන ආයතනයක් බවට වැඩි දියුණු කිරීම, උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ මුදල් පිටරටට යාම වළක්වා ගැනීමටත් පිළියමක් වෙනවා. වර්තමානයේ මේ ආයතනය තුළ ඉගෙනුම ලබන දරුවන්ගේ කටයුතුවලට බාධා නොවන පරිදි, ඉදිරියේ දී බඳවාගන්නා සිසුන්ට තාක්ෂණික විශ්ව විද්‍යාලයක ස්වරූපය සහිතව උපාධි ලබාදෙන උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියක් නිර්මාණය කරන බව පවත්වා වැඩිදුරටත් වධාරණය කළේය.

    මෙම සාකච්ඡාවේදී ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් දැනට මුහුණ දෙන වෘත්තිමය ගැටලු හා අසීරුතා පිළිබඳවත් කරුණු දැක්වූ අතර, මෙම ආයතනය වැඩිදියුණු කිරීමත් සමගම එම ගැටළු සඳහා පිළියම් යෙදීමටත් අවධානය යොමු කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, මහාචාර්ය ජනිතා ලියනගේ, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් සහ SLIATE ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya