අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රට නැවතත් වංචාව, දූෂණය, හා අල්ලසට යටත් වූ රටක් බවට පත් කිරීමට රජය යටතේ කිසිසේත්ම ඉඩ තබන්නේ නෑ- අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 08, 2020

    අපේ රට නැවතත් වංචාව, දූෂණය, හා අල්ලසට යටත් වූ රටක් බවට පත් කිරීමට වත්මන් රජය යටතේ කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩ පිළිවෙළ අද රටේ සියලු ජනතාවගේ පැසසුමට ලක් වී තිබෙනවා.එමනිසා මේ රට අල්ලස හා දූෂණය මෙන්ම වංචාවෙන් තොර රටක් බවට පත්කිරීමට එතුමා ගෙන යන වැඩ පිළිවෙළට රටේ සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මේ අඳහස් පල කළේ, අගුනකොළපැළැස්සේ පැවැති මහජන හමු කිහිපයක් අමතමිනි.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය

    තමුන්නාන්සේලා දන්නවා පසුගිය කාලයේ පැවැති රජයට මහජනතාවගෙන් වැඩිපුරම එල්ල වු චෝදනා තමයි හොරකමට, අල්ලසට හා දූෂණයට මෙන්ම අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්  කිසිදු පියවරක් නොගැනීම. රජයේ සිටි ප්‍රධානීන්ටම මහබැංකු හොරකම පිලිබඳව චෝදනා එල්ල වුනා. ඒ ගැන මුළින්ම අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළේ මම. ඒ 2015.මාර්තු මාසයේ දි.  ඒ අනුව තමයි පළමු වරට බැඳුම්කර වංචාව ගැන කරුණු මහජනතාව දැන ගත්තේ.

    රජයක කටයුතු කරන ඉහළ මට්ටමේ අයම රටේ සම්පත් හොරකම් කරනවා නම් පහළ ඉන්න අයව පාලනය කරන්න ලැබෙන්නේ නැහැ. “ගුරුවරයා හිටගෙන මුත්‍රා කරන කොට ගෝලයෝ දුව දුවා ඒ වැඩේ කරනවා” කියළා අපේ ගම්වල කතාවක් තියෙනවා. බැඳුම්කර වංචාව හරහා පසුගිය රජයේ හිටපු ප්‍රධානීන් වගකිව යුතු බව දැන් රහසක් නොවෙයි.

    මම කියන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් නිසි පරිදි කටයුතු කර නැහැ. වත්මන් ජනාධිපතිතුමාත් , අගමැතිතුමාත් නැවතත් මේ රට වැඩ කරන රටක් බවට පත් කිරීමට විශාල වැඩ පිළිවෙළක් අරඹා තිබෙනවා. නමුත් අපේ රජයට විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉන් ප්‍රධානම දේ තමයි මේ වසරේ ගෙවන්න තියෙන ණය කන්දරාව. මේ වසර අවසන් වීමට පෙර ණය හා  පොලි වශයෙන් වන වාරිකය ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ඉක්මවනවා.

    පැහැදිලිවම බැලුවහොත් මේ වසරේ රාජ්‍ය ආදායම මදි ණය හා පොලී වාරිකය ගෙවන්න. ඒ විතරක් නොවෙයි පසුගිය කාලයේ අකාර්යක්ෂමතාව නිසා රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබනවා.  මං හිතන්නේ ලාබ ලබලා තියෙන්නේ ආයතන කිහිපයක් විතරයි.

    මම යටතේ දැන් තිබෙන විදුලි බල මණ්ඩලය ගොඩ ගන්න නම් රු. කෝටි 20,000ක් මුදලක් ඕනෑ. දුම්රිය දෙපාර්තමේන්තුව 2019 වසරේ රු. කෝටි 800ක් පාඩුයි. ලංගමත් එහෙම තමයි. ලංකා  විදුලිබල මණ්ඩලයට 2020 වසරේ දීත් තවත් කෝටි 12000ක් විතර ණය වෙන්නට සිදුවෙනවා.

    ලංකා විදුලි බල මණ්ඩලය මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රු. කෝටි 8300ක් ණයයි. පසුගිය සිකුරාදා ලංකා ඛනිජතෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දිම නවත්වන්න  තීරණය කළා. නමුත් මම මැදිහත් වී එම ප්‍රශ්නය සමථයකට පත් කළා. ඒ අනුව හදිසි අවශ්‍යතාවයක් සේ සළකා දිගටම ඉන්ධන ලබා දෙන්න කියළා මම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස්  දුන්නා.

    2014න් පසු ලංකා විදුලි බල මණ්ඩලය අඩු තරමින් විදුලි ඒකකයක්වත් නිෂ්පාදනය කළ හැකි ව්‍යාපෘති ආරම්භ කර නැහැ. අපේ රටේ හොඳට අව්ව, හුලග, මෙන්ම මුහුදු රළ තිබුනත් ඒවායින්  විදුලිය නිපදවිය හැකි ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර නැහැ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබුනා නම් අපිට කිසි ගැටලුවක් නැතිව විදුලිය දෙන්න තිබුනා. ඒ වගේම ලංකා ඛනිජ  තෙල් සංස්ථාව පාඩු ලබන්නෙත් නැහැ.

    කොහොම වුනත් අපේ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ කළමනාකාරිත්වයේ වරදින්. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ක කතා කළා. පසුගිය කාලයේ දුම්රිය එන්ජින් 10ක් ඇණවුම්  කර තිබුනා. ඒ එන්ජින් 10න් දෙකක් ධාවනය කළත් ඒ දෙකම පීලි පැන්නා. හේතුව තමයි අපේ දුම්රිය මාර්ගවල ධාවනය කළ නොහැකි තරමට බර වැඩිවීම හා දිග වැඩිවීම.

    හැබැයි මේ එන්ජින් ඇණවුම් කරන්න හිටපු ප්‍රධාන නිලධාරියෙකුත් , තාක්ෂණික කමිටුවේ නිලධාරිනුත් විදේශ ගත වෙලා ගිහින් තමයි මේවාට නිර්දේශ දුන්නේ. ඒ අය හොඳටම දන්නවා අපේ  දුම්රිය මාර්ගවල තත්ත්වය. දැන් මොකද වෙන්නේ . විශාල මුදලක් වැය කරළා ගෙන්වපු ඒ දුම්රිය මැඳිරි දහයෙන් කිසිදු වැඩක් නැහැ. බර වැඩි හින්දා රේල් පීළි කැඩුනා කියළා දැන් ඉන්න  නිලධාරින් මට කිව්වා. මහජන මුදල් කිසිදු ප්‍ර යෝජනයක් නැතිව විනාශ වී තිබෙනවා. මම මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා දෙන්න කියළා කමිටුවක් පවා පත් කළා. දැන් විමර්ශන  කෙරීගෙන යනවා.

    අපේ රටට මේ තරම් ණය බරක් විඳින්න සිද්ධ වුනේ අල්ලස, දූෂණය, හොරකම මෙන්ම නාස්තිය හා අකාර්යක්ෂමතාවය නිසයි.මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගෙන යන වැඩ  පිළිවෙළ යටතේ මේ පැවැතුණු ක්‍රමය වෙනස් කළ හැකි වෙයි කියා යැයිද අමාත්‍යවරයා කීය.

    මෙහිදී අමාත්‍යවරයා අතින් තරුණයින් සඳහා ක්‍රීඩා උපකරණ ද පිරිනැමුනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya