අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත කිරීමට අපේක්ෂා කරනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    ජනවාරි 03, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ ඉතා ඉක්මනින් අවසන් කොට මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු  මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ (01)දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චෛත්‍ය පරිශ්‍රයෙහි පැවැති නව වසර සඳහා වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, වසර 05 ක් ආපස්සට ඇද දැමූ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම නව වසරේ අපේක්ෂාව වන බවත් රටේ හදවත බඳු වරායට අත්‍යවශ්‍ය නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරමින් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ය.

    “දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරපු කෑල්ල වැඩ අවසන් වෙන්න ඉස්සෙල්ලා තමයි ඔවුන් විවෘත කෙරුවේ. ඒකෙ ලොකු ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේ දී වැඩ නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අවශ්‍ය කරන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ඉස්සල්ලා මෙය විවෘත කරන්න.

    වරාය කියන්නේ ‍සේවකයෝ 10 000 ක් පමණ වැඩකරන තැනක්. ඔවුන් සියලුදෙනා සමග මා ඉදිරියේ දී තනි තනියෙන් බැරිවුණත් කණ්ඩායම් වශයෙන් හෝ හමුවෙලා කතාකරන්න බලාපොරොත්තු වෙනවා. වරාය රටේ එක හදවතක්. ගුවන් තොටුපොළ තවත් හදවතක්. මහා මාර්ග අමාත්‍යංශයත් ඒ වගේ වැදගත් අමාත්‍යංශයක්. අද නව ජනාධිපතිවරයෙක් පත්වෙලා ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ වැඩපිළිවෙළ ගැන ඔබ දන්නවා. ඒ නිසා තමයි දාහතර ලක්ෂයකට වඩා වැඩි ඡන්ද ප්‍ර‍මාණයක් ලබාදීලා එතුමාව ජනාධිපති බවට පත්කෙරුවේ. මේ රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාජය කරලා රටට කරගත්ත පාඩුව ඔබ දන්නවා. රටට නොවෙයි වරායට වෙච්ච පාඩුව ඔබ හොඳටම දන්නවා. මේ වෙලා තියෙන විනාශය ගණන් බැලිය නොහැකි තරම් විශාලයි. අවුරුදු හතරහ මාරක් තිස්සේ නැගෙනහිර පර්යන්තය ආරම්භ කරන්න ඔවුන්ට බැරි වෙලා තියෙනවා. අපි ඉතාම ඉක්මනින් නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

    රුපියල් 150 ට තිබුණ බත් පැකට්ටුව එක පැය විසි හතරෙන් රුපියල් 350 ක් වෙලා තියෙනවා. අපි ඒවා නැවැත්තුවා. නිවැරදි තීන්දුව ගන්න මම කිසිම විටෙක පසුබට වෙන්නේ නැහැ. මොකද ඒ නිවැරදි තීන්දුව ගන්නයි ජනාධිපතිතුමා මාව පත්කරලා තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු. වරාය කියන්නේ දියුණු කරන්න පුළුවන් තැනක්. මම වෘත්තීය සමිති ගැන දන්නවා. කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ මම කටයුතු කළා. මාත් එක්ක වැඩ කරන්න හරි ලෙහෙසියි. මාත් එක්ක ප්‍ර‍ශ්න කතා කරන්න. ප්‍රශ්න අරගෙන ඒවා පස්සේ යන්න එපා. ඔබේ සේවය රටට අවශ්‍යම අවස්ථාවයි මේ. ඒ නිසා මම විශේෂයෙන්ම වෘත්තීය සමිති වලින් ඉල්ලනවා ප්‍ර‍ශ්න නිසා රටට පාඩු වන, රටේ ආර්ථිකයට පාඩුවන කටයුතු වලට යොමුවෙන්න එපා කියලා.

    2015 වෙද්දී මේ රටේ ආර්ථිකය වැට්ටුවා කිව්වා, මහා භාණ්ඩාගාරය හිස් කියලා කිව්වා. ඒ ඔක්කෝම බොරු. ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා ඒ සියල්ලම ඇත්ත කෙරුවා. හොඳට තිබුණ රටක් අවුරුදු 05 ක් පස්සට ඇදලා දැම්මා. රුපියල් බිලියන 25 ක් පමණ තියෙනවා මහා මාර්ග අමාත්‍යංශයේ විතරක් ගෙවන්න. මහා විශාල විනාශයක්. මධ්‍යම අධිවේගී මාර්ගය ඔවුන් පටන්ගත්තා. ඒකෙ මුල නැහැ. මීරිගම සිට පොතුහැර දක්වා විතරයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඒකත් ඉතාම සෙමින් තමයි වැඩ කෙරුණේ. අද භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් ම හිරවෙලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නැහැ. අද රටේ ජනාධිපති රාජ්‍ය සේවකයෙක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා යුද්ධයට නායකත්වය දුන්නා විතරක් නෙවෙයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුවා. එතුමා මේ ළ‍ඟදී හදිසියේ ර්‍MV එකට ගියා. ඒකට විපක්ෂයේ අය කැමති නැහැ. අපි නම් කැමතියි. අපි කැමතියි මෙහෙටත් ඉක්මනටම එනවා නම්......” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම උත්සව අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. පී.කේ. මායාදුන්නේ මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් දයා රත්නායක මහතා ඇතුළු වරාය අධිකාරියේ විධායක නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් ද, වරාය හා නාවික අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya