අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික න්‍යාය පත්‍රවලින් තොර ව සාකච්ඡාවෙන් ගැටලු විසඳමු-උසස් අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 02, 2019

    පෞද්ගලික න්‍යාය පත්‍රවලින් තොර ව සාකච්ඡාවෙන් ගැටලු විසඳමු''යැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් හමුවෙමින් පවසයි.

    තම තමන්ගේ දේශපාලනය හෝ තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලින් ඉවත් වී රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සාකච්ඡාවෙන් ගැටලුවලට විසඳුම් ලබා ගැනීම වැදගත් බව අමාත්‍යවරයා පෙන්ව දුන්නේ ය. .

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (02) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය නියෝජිත කණ්ඩාම සමඟ පැවති සාකච්ඡාවේ දී ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මේ දරුවන්ගේ සියලු ම ගැටලු මට ලිඛිත ව ත් වාචික ව ත් ඉදිරිපත් කිරීම පිළිබඳ සතුටට පත් වෙනවා. වැඩ භාර ගැනීමෙන් පසු ව පැවැත්වෙන රාජකාරී මට්ටමේ පළමු සාකච්ඡාව මා ලබා දුන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය නියෝජිතයන්ට යි. අපි පසුගිය අවුරුදු දෙක හමාරක තුනක කාලයක සිට රටේ තිබෙන අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ වියත් මඟ ආදී විද්වත් සංවිධාන සමඟ සාකච්ඡා කළා. තිබෙන අනතුරු සහ ගැටලු හඳුනා ගනු ලැබුවා. ඒවා අධ්‍යයනය කළා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක වටිනාකම අපි හොඳින් හඳුනා ගත්තා. ඒවගේ ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවන්ගෙන් නිසි ප්‍රයෝජනය ජාතිය වෙනුවෙන් යොදා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගනු ලැබුවා. ඒ අනුව තමයි අපි තීරණය කළේ කොළඹ ඉහළ පෙළේ පවුල්වලට පමණක් සීමා වෙලා තිබෙන, ජාත්‍යන්තර පාසල්වල පමණක් පවතින, මසකට රුපියල් 1 50 000ක් පමණ අය කරන ක්‍රමය රජයේ පාසල් තුළ නොමිලයේ ඇති කරීමට අවශ්‍ය ගුරු සහායක පත්වීම් 50 000ක් ලබා දෙනවා. ඒ අයට ඩිප්ලෝමාව නොව උපාධිය ම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙනවා.

    ඒවගේ ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ අධ්‍යයනය සඳහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පත් කරන්නට ද අපේක්ෂා කරනවා. ඒ තුළින් ඒ ඒ විශ්වවිද්‍යාල සඳහා පවතින, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවතින මෙන් ම දෙමාපියන් සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සම්බන්ධ ව පවතින ගැටලු ස්වාධීන ව විසඳන්නට එම මණ්ඩලය යොදවනවා. අපි දන්නවා ඇතැම් තීරණ විශ්වවිද්‍යාලවල පාලක සභාවෙන් ලබාගත් පසු එම තීරණ අපගේ කරුණු ඉදිරිපත් කළ ත් වෙනස් කරන්නේ නැහැ. එවැනි අවස්ථාවල අගතියට පත්වන පාර්ශ්යවයන් සඳහා මෙම ස්වාධීන මණ්ඩලයට ඉදිරිපත් කිරීම මඟින් සාධාරණය ඉටු කොට දීමට බලාපොරොත්තු වෙනවා.

    මා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටිය දී තාක්ෂණ විෂය පාසල් සඳහා හඳුන්වා දෙනු ලැබුවා. එහි ප්‍රතිඵල ලෙස අද අපේ පාසල් ශිෂ්‍යයින් හෙලිකොප්ටර් නිපදවනවා. අද එක් දරුවෙක් මා මුණ ගැසීම සඳහා ද පැමිණෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තුළ තාක්ෂණ පීඨ මේ වන විට ඉදිවෙමින් පවතිනවා. ඒක අපේ රටේ විශ්වවිද්‍යාලවල විශාල පිම්මක් වේවි. පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණවල සිසුන් නිරතවෙනවා අපි දැක්කා. ඇත්තට ම මේක සිසුන් විදියට ඔබට ත් දෙමාපියන්ට ත් පරිපාලනයට ත් ඒවගේ ම මහජනතාවට ත් ගැටලු රැසක් ඇති කරනවා. ඒ නිසා අපි මේක සාකච්ඡාවෙන් විසඳා ගැනීම තමයි හොඳ ම ක්‍රමය. ඒකට ඔබ අවශ්‍ය ඕනෑම විටක අපිත් එක්ක සාකච්ඡා කරන්න. නමුත් මම ඔබගෙන් ඒ එක ම උද්ඝෝෂණයකදිවත් දැක්කේ නැහැ නවීන ලෝකයට ගැලපෙන විදියට විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් වෙනස් කරන්න කියලා. විශ්වවිද්‍යාල පාඨමාලා උගතුන්ට සරිලන රැකියාවක් ද ලබාගැනීමට හැකිවන පරිදි නිර්මාණය කරන්න කියලා. බලන්න පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය. එවැනි දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපේ රටෙත් ඇති කළ හැකි යි. එය ඇතිකළ යුතු යි. ඒ සඳහා එක පිළියමක් ලෙස ම තමයි අපි අධ්‍යාපනයට තාක්ෂණ විෂය එකතු කළේ.

    ඒවගේ ම අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මම තරම් විරුද්ධව කතා කළ සහ එලව එලවා පහර දුන් කෙනෙක් නැති තරම්. මම ඊට විරුද්ධ ව හැම විට ම පෙනී සිටියා. මොකද අපි ත් ඒ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවුණු දරුවන්. ගණිතය නැතිව උසස් පෙළ හදාරන්නට නොහැකි තත්ත්වය අවබෝධ කරගෙන අදාළ විසඳුම් දෙන්නට ඉදිරිපත් වුණේ ත් මම. කෙනෙක්ගේ අධ්‍යාපනයේ අයිතිය නවත්වන්න කිසි ම කෙනෙකුට බැහැ.

    ඔබ විසින් ඉදිරිපත් කළ පරිපාලනය පිළිබඳ ගැටලු, අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය පිළිබඳ ගැටලු, දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍ය ණය ක්‍රමය පිළිබඳ ගැටලු, මහපොළ සහ ශිෂ්‍යාධාර පිළිබඳ ගැටලු, විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වැඩි වී තිබීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම පිළිබඳ ගැටලු, දේශන සඳහා පැමිණීම 80% සහ මහපොළ සහ ශිෂ්‍යාධාරයට බලපෑම පිළිබඳ ගැටලු, සියලු ම විශ්වවිද්‍යාලවල මේ වනවිට නවත්වා තිබෙන ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ගැටලු, මඩකලපුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය පිළිබඳ ගැටලු, අධ්‍යයන සුබසාධනය පිළිබඳ ගැටලු ආදිය පිළිබඳ අපගේ අවධානය යොමු කරනවා. මේ ගැටලු අධ්‍යයනයෙන් පසු ව සෑම විශ්වවිද්‍යාලයක ම දරුවන් සමඟ වෙන ම සාකච්ඡා කරන්නට මම පෞද්ගලික ව ම එනවා. අපි උපකුලපතිවරු ඇතුළු පාලන අධිකාරිය ත් මම ත් ඔබ සහ අවශ්‍ය අනෙකුත් පාර්ශ්වයන් එක ම මේසයක සිට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කරමු. ඉන් පසු විසඳුම් සොයමු. ඔබේ ගැටලු සඳහා ‘පියෙක්ගෙන්’ ඉටු විය යුතු පරිදි විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි, භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, ඒ ඒ විශ්විවද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරු ඇතුළු ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya