අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ වෙනිසියුලාව අතර සමීප සහයෝගීතාව නවපණ ගැන්වීමට සහ ප්‍රවර්ධනය කිරීමට පියවර

    ඔක්තෝබර් 18, 2019

     ශ්‍රී ලංකාව සහ වෙනිසියුලාව අතර සමීප සහයෝගීතාව නවපණ ගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වෙනිසියුලාවේ විදේශ කටයුතු උප අමාත්‍ය රූබන් ඩාරියෝ මොලිනා මැතිතුමාගේ ආරාධනයෙන් 2019 ඔක්තෝබර් 03-06 දිනවල දී වෙනිසියුලා බොලිවේරියානු ජනරජයේ නිල සංචාරයක යෙදුනි.

    මෙම සංචාරයේ දී, වසන්ත සේනානායක මැතිතුමා ඔක්තෝබර් 04 වෙනිදා වෙනිසියුලාවේ උප අමාත්‍යවරයා සමඟ “ඇන්ටෝනියෝ ජොසේ ද සුක්‍රේ” පීත මන්දිරයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවය පිළිබඳව මීට පෙර පැවති සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලදී. ද්විපාර්ශ්වික සබඳතාවය සහ කෘෂිකර්මාන්තය, රෙදිපිළි, ක්‍රීඩා, සංචාරක වැනි නව සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත් අතර, සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිණිස නිත්‍ය දේශපාලන උපදේශන සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ද ඔවුහු එකඟ වූහ. සංචාර සඳහා පහසුකම් සැලසීම සහ අන්තර් පුද්ගල සබඳතා හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර වීසා අවශ්‍යතා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව සලකා බැලීමට ද එහි දී එකඟ විය. ඉහළ මට්ටමේ සංචාර සහ ව්‍යාපාරික නියෝජිතයින් හුවමාරු කර ගැනීම තුළින් කටයුතු තීව්‍ර කිරීමේ අවශ්‍යතාවය වෙනිසියුලානු උප අමාත්‍යවරයා අවධාරණය කළේය. හොන්ඩුරාස්, ඩොමිනිකානු ජනරජය හා හයිටි වැනි රටවල ඇඟලුම් කර්මාන්තය වෙත ශ්‍රී ලංකාවේ පිවිසීම හා සමානව ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය වෙනිසියුලාව දක්වා ද ව්‍යාප්ත කළ යුතු යැයි ඔහු යෝජනා කළේය.

     රාජ්‍ය අමාත්‍යවරයා වෙනිසියුලාවේ සංචාරක කටයුතු හා විදේශ වෙළඳාම පිළිබඳ මහජන බල අමාත්‍ය ෆීලික්ස් ප්ලැසෙන්සියා මැතිතුමා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීය. මෙම රැස්වීමේ දී රාජ්‍ය අමාත්‍ය සේනානායක මැතිතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රවණතා පිළිබඳව විස්තර කළේය. වෙනිසියුලානු අමාත්‍යවරයා, ලතින් ඇමරිකානු කලාපයේ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් වෙනිසියුලාව සතුව පවතින වගකීම් පිළිබඳව පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මැණික් කැපුම්කරුවන් ගෙන්වා තාක්‍ෂණික දැනුම ලබා දීම තුළින් වෙනිසියුලාවේ මැණික් කර්මාන්තය වැඩිදියුණු කිරීමට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත පිළිබඳව ද  රාජ්‍ය අමාත්‍යවරයා දැන්වීය.

    රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමා වෙනිසියුලාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා පිළිබඳ මහජන බල අමාත්‍ය පෙඩ්රෝ ඉන්ෆාන්ටේ මැතිතුමා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වූ අතර, වියහැකි නව සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළේය. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු මෙහි දී අමාත්‍යවරයා සමඟ එක්වූහ. මෙම රැස්වීමේ දී, රාජ්‍ය අමාත්‍ය සේනානායක මැතිතුමා දෙරට අතර යෞවන හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ අතර, තවත් රටවල් කිහිපයක් සමඟ එවැනි වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව විසින් පහසුකම් සපයනු ලබන බව ද පැවසීය. යෞවන නියෝජිතයින් හුවමාරු කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට වෙනිසියුලානු පාර්ශ්වය එකඟ විය.

    රාජ්‍ය අමාත්‍ය සේනානායක මැතිතුමා, මෙම සංචාරය අතරතුර දී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මැතිතුමා බැහැදැකීමට ද ගියේය. මෙම හමු‍වේ දී, ජනාධිපති මදුරෝ මැතිතුමා යෝජනා කළේ ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව දෙරට විසින් ගවේෂණය කළ යුතු වන බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එකඟ වූ අතර, වෙනිසියුලා බොලිවේරියානු ජනරජයේ ජනාධිපතිවරයාට, රජයට සහ එහි ජනතාව වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුබ පැතුම් පිරිනැමීය.

    වෙනිසියුලාව සඳහා සමගාමීව අක්තගන්වන ලද කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ඒ.එල්. රත්නපාල මැතිතුමා ද සාකච්ඡාවල දී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමා සමඟ එක්විය.      

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya