අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු ඊළග වසර 05 තුළදී යාපනය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා-අග්‍රාමාත්‍ය

    ඔක්තෝබර් 17, 2019

    වසර 30 ක් පුරාවට පැවති යුද්ධය හේතුවෙන් යාපනයට අහිමිවී ගිය රැකියා අවස්ථා නැවත ඇතිකර සංචාරක ව්‍යාපාර හරහා ආදායම් වැඩිදියුණු කර ගනිමින් ඉදිරි වසර පහ තුළ යාපනයේ ආර්ථිකයට විප්ලවයක් එක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් යපනය අන්තර්ජාතික ගුවන්තොටුපලේ සමරු ඵලකය විවෘත කිරීම සිදු විය. ඉන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අද (17) මේ බව පැවසීය.

     පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේදී යාපනය අර්ධද්වීපයට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අවශ්‍ය බව සාකච්ඡාවට ලක් කළද එම වසරේ මැයි මස ඊට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු මෙම වසරේ ජනවාරි මස ගුවන්තොටුපලේ වැඩකටයුතු ආරම්භ කළා.වැඩකටයුතු ආරම්භ වී මාස හයක් ගතවීමටත් මත්තෙන් යාපනයට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලැබී ඇත්තේ වත්මන් රජයෙන් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ දෙවන අදියර යටතේ ගුවන් පථය තවදුරටත් දීර්ඝ කර ඒ-320 ගුවන්යානා පැමිණීමට හැකි අයුරින් කටයුතු කිරීමට නියමිතය.ඒ අනුව සිංගප්පූරුව,මැලේෂියාව,තායිලන්තය සහ මැදපෙරදිග රටවල්වල සිටද යාපනයට පැමිණීමට අවස්ථාව සැලසෙනු ඇත.

    යාපනයේ මැති ඇමතිවරුන් සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එක්ව යාපනය අර්ධද්වීපය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටද කටයුතු කරමින් යන බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.යාපනය අර්ධද්වීපයේ සිට කොළඹට සහ මඩකලපුවේ සිට කොළඹට සිදුවන ගුවන් ගමන් සේවාව වැඩිකිරීම පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තෙවන අදියර වන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටියේ ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

    “යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීම පිළිබඳව වසර 20 – 30 ක් පමණ සාකච්ඡා කළා. එම සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමාවී තිබූ බව කිව යුතුයි. නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සාකච්ඡා කිරීමට අපට හැකි වුණා.


    ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු, මැයි මාසයේ දී මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ රටේ පැවැති තත්ත්වය සමග මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි දැයි ඇතැම් අය ප්‍රශ්න කළා. කෙසේ හෝ මෙම කටයුත්ත සිදු කිරීමට අප තීරණය කළා. ඒ අනුව මාස 6 ක් ගත වීමට පෙර ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීමට අපට හැකි වුණා.


    අද අප විවෘත කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පළමු අදියර පමණයි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළ පරිදි තවත් අදියර කිහිපයක් ආරම්භ කිරීමට තිබෙනවා. මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වන බව කිව යුතුයි.
    මෙම ගුවන් තොටුපොළ සහ එහි ගොඩනැගිලි ඉදිකිරීමට වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් වැය කළේ නැහැ. මාස කිහිපයක් ඇතුළත මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අපට හැකි වුණා. ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ නැවත උපයා ගත හැකියි.”

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග,දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා, උතුරේ ආණ්ඩුකාර සුරේන් රඝවන්,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු,අමාත්‍යාංශ ලේකම් එල්.පී.ජයම්පති යන මහත්වරු ද අඳහස් දැක්වූ අතර,අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානයක යන මහත්වරු සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

     

    දයා ලංකාපුර- යාපනය, පලාලි සිට....

     

    jafnaa

     

    jafnaarr

     

    ඡායරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya