අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු පළුගස්වැව, ආසිරිගම ග්‍රාමශක්ති ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 10, 2019

     ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සිදු විය.

    2018 දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි දී ජනතාව තම දුෂ්කර ජීවිතය පිළිබඳ ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

    එහි දී ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව දිළිඳුකම පිටුදැකීම උදෙසා ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස යුද හමුදාවේ ද සහාය ඇතිව ආසිරිගම සක්‍රීය ව සංවර්ධනයට ලක් කෙරිණි.

    ප්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, පාසලේ නව ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සහ පෙර පාසල් දෙකක් ඉදිකිරීම, සේවා පියස ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මෙන්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ද මේ යටතේ සිදු විය. ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ද කඩිනමි පියවර ගැනිණි. ආසිරිගම ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස 43ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ යටතේ වැඩ නිම කළ නිවාස 22ක් ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    තම ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් ඒවා ඉටුකර දීමට කටයුතු කිරීම පිළිබඳව මෙහි දී ප්‍රදේශවාසී ජනතාව තම කෘතවේදිත්වය ජනාධිපතිතුමා වෙත පළ කර සිටියහ.

    මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව යි. මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩසටහන් රජය දියත් කළේ එබැවින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගතයේ දී යහපත් රටක් ගොඩනැඟීමට මත්ද්‍රව්‍යවලින් නිදහස් ගමක් ගොඩනැගිය යුතු බව ද කියා සිටියේය.

    නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස දෙකක් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව පැවති උත්සව සභාවේ දී සෙසු නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දූ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අභිනවයෙන් ඉදිකළ “පී.බී අබේකෝන්” නව ශ්‍රවණාගාරය අද සිසු අයිතියට පවරා දුන්නේ ද ජනාධිපතිතුමා අතිනි.
    රුපියල් ලක්ෂ 450ක වියදමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබෙන අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ කීර්තිධර රාජ්‍ය නිලධාරියෙකු වූ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පී.බී. අබේකෝන් මහතා නමින් එය නම් කර තිබේ.

    විදුහල්පති අයි.එම්. දයාරත්න බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya